අංගුත්තර නිකාය

එක නිපාතය

5. චූල වර්ගය

48. පබ්බතරාජ සූත්‍රය

“මහණෙනි, හිමාල පර්වතය නිසා මහා වෘක්ෂයෝ වැඩීම් තුනකින් වැඩෙත්. අතු කොළවලින් වැඩෙත්. සිවියෙන් හා පොත්තෙන් වැඩෙත්. ඵලයෙන් හා හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමාල පර්වතයා නිසා මහා වෘක්ෂයෝ මේ වැඩීම් තුනින් වැඩෙත්.

“මහණෙනි, එපරිද්දෙන්ම සැදැහැවත්වූ කුල ප්‍රධානියෙකු නිසා ඔහුගේ අභ්‍යන්තර ජනතෙමේ වැඩීම් තුනකින් වැඩෙයි. ශ්‍රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු නිසා ඔහුගේ අතවැසි පිරිස ශ්‍රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි.

(1) “ගමින් ඈත්වූ මහා වනයෙහි ශෛලමය පර්වතයක් වේද, එය ආශ්‍රයකොට ඒ මහා වෘක්ෂයෝ යම්සේ වැඩෙත්ද.

(2) “එපරිද්දෙන්ම මේ ලොකයෙහි ශීලයෙන් යුක්තවූ ශ්‍රද්ධාවත්වූ කුලපත්‍රයා ආශ්‍රයකොට අඹුදරුවෝද බන්ධුවරයෝද හිතවන්තයෝද ඤාති සමූහයාද යමෙක් තුමූ ඔහු අනුව ජීවත් වන්නාහුද ඔව්හු වැඩෙත්.

(3) “යම්කෙනෙක් නුවණැත්තෝ වෙත්ද ඔව්හු සිල්වත්වූ ඔහුගේ ශීලයද ත්‍යාගයද සුචරිතයන්ද බලමින් ඒ අනුව පිළිපදිත්.

(4) “මේ ලොකයෙහි සුගතිගාමී මාර්ගයෙහි පිළිපැද කම්සැප කැමති වෙමින් සතුටුවන්නෝ දෙලොව සතුටු වෙත්.”