අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(11) 1. වලාහක වර්‍ගය

3. කුම්භොපම සූත්‍රය

’’මහණෙනි, මේ කල සතරක් වෙත්. කවර සතරක්ද යත්, හිස් වැසූ කලය, පිරුණු නොවැසූ කලය, හිස් නොවැසූ කලය, පිරුණු වැසූ කලය, මේ කල සතර වෙත්. මහණෙනි, එසේම මේ කල සතරට සමාන පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, හිස් වැසුණු, පිරිණු නොවැසුණු, හිස් නොවැසුණු, පිරුණු වැසුණු ද වෙත්. මහණෙනි, හිස් වැසුණු පුද්ගලයා කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු වේද?

’’හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද,

’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම හිස්ය, වැසීය. මහණෙනි, යම් සේ ඒ කලය හිස්ද, වැසීද, මහණෙනි, මම ඒ පුද්ගලයා මෙබඳු යයි කියමි.

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම පිරුනේ, විවෘත වූයේ වේද?

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු නොවේද?

’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී,

’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම පිරුණේ, විවෘතවූයේ වේ. මහණෙනි, යම්සේ ඒ කලය පිරුණේ, විවෘතවූයේ වේද? මේ පුද්ගලයා එබඳුයයි කියමි.

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු නොවේද?

’’හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද,

’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම තුච්ඡද, විවටද වේ. මහණෙනි, යම් සේ ඒ කලය, හිස්ද, විවෘතද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම පිරුනේද, වැසුනේ වේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු වේද?

’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී,

’’මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම පිරුණේද, වැසුනේද වේ. මහණෙනි, ඒ කලය පිරුණේ වැසුණේ යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි. මහණෙනි, කලයට උපමා ඇති මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’