අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(14) 4. පුද්ගල වර්‍ගය
5. භාවනාවජ්ජ සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්
’’වැරදි සහිත පුද්ගලයාය, වැරදි බහුල පුද්ගලයාය, වැරදි අඩු පුද්ගලයාය, නිවරද පුද්ගලයාය යන සතර දෙනයි.
’’මහණෙනි, වැරදි සහිත පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වරද සහිත කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, වරද සහිත වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, වරද සහිත මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙම වරද සහිත වූයේ වේ.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම වැරදි බොහෝ වූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බහුල වශයෙන් සාවද්‍ය කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදිව ස්වල්පද, බහුල වශයෙන් සාවද්‍ය වාක් කර්‍මයෙන් යුක්තවූයේද, නිරවද්‍යව ස්වල්පද, බහුල වශයෙන් සාවද්‍ය මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවරදව ස්වල්පද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම වැරදි බහුල වේ.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම ස්වල්ප වැරදි ඇත්තේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් බහුලව නිවැරදි කාය කර්‍මයෙන් යුක්ත වූයේද, වැරදි සහිතව ස්වල්පයක් වේද, බහුල වශයෙන් නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, වැරදි සහිතව ස්වල්පයක් වේද, බහුල වශයෙන් නිවැරදි මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, වැරදි සහිතව ස්වල්පයක් වේද, මහණෙනි, පුද්ගල තෙම මෙසේ වැරදි අඩුවේ.
’’මහණෙනි, පුද්ගල තෙම කෙසේ නිවැරදි වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම නිවැරදි වේ. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’