අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(14) 4. පුද්ගල වර්‍ගය
9. ධම්මකථික සූත්‍රය
’’මහණෙනි, මේ ධර්‍ම කථිකයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් තේරුමක් නැතිව ස්වල්පයක් කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථයන්හි දක්‍ෂ නොවේද, මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිසක ධර්‍ම කථිකයාය යන සංඛ්‍යාවට යයි.
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ සහිතව ස්වල්පයක් කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථ දෙකේහි දක්‍ෂද, මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිසට ධර්‍ම කථිකයෙකැයි සංඛ්‍යාවට යයි.
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ රහිතව බොහෝ කියයි. පිරිසද අර්‍ථ අනර්‍ථ දෙකේ අදක්‍ෂද මහණෙනි, මෙබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිස මැද ධර්‍ම කථිකයෙක යන සංඛ්‍යාවට යයි.
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධර්‍ම කථිකයෙක් අර්‍ථ සහිතව බොහෝ කියයි. පිරිසද අර්‍ථානර්‍ථ දැනීමේ දක්‍ෂය. මහණෙනි, එබඳු ධර්‍ම කථික තෙම මෙබඳු පිරිස මැද ධර්‍ම කථිකය යන සංඛ්‍යාවට යයි. මහණෙනි, මේ සතර ධර්‍ම කථිකයෝය.’’