අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. රොහිතස්ස වර්‍ගය

10. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය

’’මහණෙනි, යම්බඳු උපක්ලේශයන්ගෙන් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ට මේ උපක්ලෙශ සතරක් වෙත්. කවර සතරක්ද යත්.

යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, වළාකුල් චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, හිම චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, දුම් හා රජස් චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, රාහු චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට උපක්ලෙශයකි. යම් උපක්ලෙශයකින් වැසුණු චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ නොතවත්ද, එලිය නොදෙත්ද, නොබබලත්ද, මහණෙනි, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යන්ට සතර උපක්ලේශයෝය.

’’මහණෙනි, එසේම යම්බඳු කෙලෙසුන්ගෙන් කිලිටිවූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ආලෝකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මේ උපක්ලේශ සතරක් වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, සුරා බොන, මෙරය බොන, රහමෙර පානයෙන් නොවැලැක්කාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මහණෙනි, යම් උපක්ලේශයකින් කිලිටිවූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලෝකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ පළමුවෙනි උපක්ලේශයයි.

’’මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙවුන්දම් සේවනය කරත්. මෛථුන ධර්මයෙන් වෙන්නුවූවාහු වෙත්. යම් උපක්ලේශයකින් කිලිටිවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දෙවෙනි උපක්ලෙශයයි.

’’මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් රන්, රිදී, මසු, කහවණු ඉවසත්. රන්, රිදී, මසු, කහවණු පිළිගැනීමෙන් නොවැලැක්කාහු වෙත්. මහණෙනි, යම් උපක්ලේශකින් යුක්තවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ තුන්වෙනි උපක්ලෙශයයි.

’’මහණෙනි, වැරදි ජීවිකාවෙන් ජීවත්වන, වරදි ජීවිකාවෙන් වෙන් නොවූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. යම් උපක්ලේශයකින් යුක්තවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සතරවෙනි උපක්ලෙශයයි.

’’මහණෙනි, යම් උපක්ලේශයකින් යුක්තවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණ තැවීමෙන් නොතැවෙත්ද, ගුණ ආලොකයෙන් එලිය නොදෙත්ද, ගුණයෙන් නොබැබලෙත්ද, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ උපක්ලෙශයයි.

’’රාග ෙවශයන්ගෙන් කිලිටිවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අවිද්‍යාවෙන් වැසුනාහුය. පිය රූපයන්හි සතුටුවන ඒ පුරුෂයෝ රහ මෙරය පානය කරත්. මෛථුන සේවනය කරත්. බාලයෝ රන් රිදී ඉවසත්. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වැරදි ජීවිකාවෙන් ජීවත් වෙත්. ආදිච්චබන්ධුවූ බුදුරජාණන් වහන්සේ විසින් මේ උපක්ලේශයෝ වදාරණ ලද්දාහ. යමකින් කෙලෙසුණු සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අස්ථිරවූ කෙලෙස් සහිත ජලයෙන් නොදිලිසෙත්. නොබැබලෙත්. තණ්හා යොතින් ගෙන යන අන්‍ධකාරයෙන් වැළඳගත්, තෘණ දාසයෝ සොහොන් පුරවත්. දරුණු පුනර්භවය ගනිත්.’’

පස්වෙනි රොහිතස්ස වර්‍ගය නිමි.

පඨමපණ්ණාසකං සමත්තං.