අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය

1. පඨම පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය

’’මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගය පිණිස පවත්නාවූ පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු සතර දෙනෙක් ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. කවර සතර දෙනෙක්ද යත්?

’’මහණෙනි, යමෙකුගේ සිවුරක් පරිභොග කරණ භික්‍ෂුව අර්හත් ඵල සමාධියට පැමිණ වාසය කරයිද, ඔහුගේ සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, අප්‍රමාණවූ, පුණ්‍යොත්පත්තිය, කුශලොත්පත්තිය, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතී.

’’මහණෙනි, යමෙකුගේ පිණ්ඩපාතයක් පරිභොග කරණ භික්‍ෂුව අර්හත් ඵල සමාධියට පැමිණ වාසය කරයිද, ඔහුගේ සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, අප්‍රමාණ, පුන්‍යොත්පත්තිය, කුශලොත්පත්තිය, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතී.

’’මහණෙනි, යමෙකුගේ සෙනසුනක් පරිභොග කරණ භික්‍ෂුව අර්හත් ඵල සමාපත්තියට පැමිණ වාසය කරයිද, ඔහුගේ සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, අප්‍රමාණවූ, පුණ්‍යොත්පත්තිය, කුශලොත්පත්තිය, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතී.

’’මහණෙනි, යමෙකුගේ ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් පිරිකර පරිභොග කරණ භික්‍ෂුව අර්හත් ඵල සමාපත්තියට පැමිණ වාසය කරයිද, ඔහුගේ සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, අප්‍රමාණවූ, පුන්‍යොත්පත්තිය, කුශලොත්පත්තිය, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතී. මහණෙනි, මේ සතර සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතී.

’’මහණෙනි, මේ සතර පුණ්‍යොත්පත්තීන්ගෙන්, කුශලොත්පත්තීන්ගෙන්, යුක්ත ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මෙපමණ පුන්‍යොත්පත්තියක්, කුශලොත්පත්තියක්, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතීයයි, පිනෙහි ප්‍රමාණය ගණන් කරන්නට නොහැකිය. වැලිදු අසංඛෙය්‍යවූ, අප්‍රමෙය්‍යවූ, මහා පුණ්‍යස්කන්‍ධයක්ය යන සංඛ්‍යාවට යයි.

’’මහණෙනි, යම්සේ මහා සමුද්‍රයෙහි ජලයෙහි ප්‍රමාණය ජල ලාස් මෙපමණ ගණනකැයි කියා හෝ, ජල ලාස් මෙපමණ සිය ගණනකැයි කියා හෝ, ජල ලාස් මෙපමණ දහස් ගණනකැයි කියා හෝ, ජල ලාස් මෙපමණ ලක්‍ෂයකැයි කියා හෝ, ජලයෙහි ප්‍රමාණය ගන්නට නොහැකිවේද, වැලිදු සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති මහා උදක ස්කන්‍ධයකැයි යන සංඛ්‍යාවට යේද, මහණෙනි, එසේම මේ සතර පුණ්‍යොත්පත්තීන්ගෙන්, කුශලොත්පත්තීන්ගෙන් යුක්ත ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මෙපමණ පුන්‍යොත්පත්තියක්, කුශලොත්පත්තියක්, ඉෂ්ට බව පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතීයයි, පිනෙහි ප්‍රමාණයක් ගණන් කරන්නට නොහැකිය. යලිත් අසංඛෙය්‍යවූ, අප්‍රමෙය්‍යවූ, මහා පුණ්‍යස්කන්‍ධයක්ය යන සංඛ්‍යාවට යයි.

’’මහත් ජල ස්කන්‍ධයක් දරණ, සීමාවක් නොපෙනෙන, මහත් විලක්වූ, බොහෝ බිය සහිතවූ, රත්න සමූහයට ස්ථානවූ, මනුෂ්‍ය සමූහයා විසින් සෙවුනා ලද බොහෝ ගඞ්ගාවෝ යම්සේ මුහුදට පැමිණෙත්ද, එසේම ආහාර පාන වස්ත්‍ර දෙන්නාවූ, සයනාසන හිඳිනාසන ඇතිරිලි දෙන පණ්ඩිත මනුෂ්‍යයා කරා ජලය ගෙන යන නදීහු සාගරයට යම්සේද, එසේ පුන්‍ය ධාරාවෝ පැමිණෙත්.’’