අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. පත්ත කම්ම වර්‍ගය

5. රූප්පමාණ සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි වෙත්. කවර සතර දෙනෙක්ද යත්, රූපය ප්‍රමාණයයි ගෙන, රූපයෙහි පැහැදෙන පුද්ගලයාය, ශබ්දය ප්‍රමාණයයි ගෙන, ශබ්දයෙහි පැහැදෙන පුද්ගලයාය, රූක්‍ෂ ප්‍රතිපත්තිය ප්‍රමාණයයි ගෙන, රූක්‍ෂ ප්‍රතිපත්තියෙහි පැහැදෙන පුද්ගලයාය, ධර්මය ප්‍රමාණයයි ගෙන, ධර්මයෙහි පැහැදෙන පුද්ගලයාය, මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’

’’යමෙක් රූපය ප්‍රමාණ කළාහුද, යමෙක් ශබ්දයෙහි පැහැදුනාහුද? ඡන්‍ද රාග වශයෙන් යුක්ත ඔවුහු ඒ ජනයා නොහඳුනත්. අධ්‍යාත්මයද නොදනිත්. පිටත්හි ප්‍රතිපත්තියද නොදනී. ඒකාන්තයෙන් ඒ බාල තෙම ශබ්දයෙන් පමණක් ප්‍රමාණ කරයිද, හාත්පසින් ආවරණවූයේ වේ. අධ්‍යාත්ම ගුණය නොදනීද, බාහිර ප්‍රතිපත්ති නොදනීද, බාහිර සත්කාර ඵල දක්නේ, හෙතෙමේද ශබ්දයෙන් මුලාවෙයි. අධ්‍යාත්ම ගුණය දනීද, බාහිර ප්‍රත්පත්ති නුවණින් දකීද, විවෘතව පෙනෙන ඔහු ශබ්දයෙන් මුළාවට ගෙන නොයයි.’’