අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. මචල වර්‍ගය

7. පඨම සමණ මචළ සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

’’ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.’’

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙමේ අචල ශ්‍රද්‍ධාවෙහි පිහිටි බැවින් නොසෙල්වෙන ශ්‍රමණ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ශෛක්‍ෂ වේද, නිරුත්තර අර්‍හත්‍වය ප්‍රාර්ත්‍ථනා කරමින් ඒ ප්‍රතිපදාවට පැමිණ වාසය කරයි. අභිෂෙක කරණ ලද ක්‍ෂත්‍රිය රජෙකුගේ අභිෂෙකයට සුදුසු අභිෂෙක නොකළ, නිශ්චල බවට පත් දෙටු පුත්‍රයා යම්සේද, මහණෙනි, එසේම මහණ තෙම නිරුත්තර අර්‍හත්‍වය ප්‍රාර්ත්‍ථනාකරණ ප්‍රතිපදා ඇතිව වාසය කරණ ශෛක්‍ෂයෙක් වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම නිශ්චල ශ්‍රමණ වේ.’’

’’මහණෙනි, කෙසේ පුදගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධිය, අර්‍හත් ඵල ප්‍රඥාව මෙළොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයිද, අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වාසය නොකරයිද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙමේ ශ්‍රමණ පුණ්ඩරීක වේ.’’

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අර්‍හත්ඵල සමාධිය, අර්‍හත්ඵල ප්‍රඥාව මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයිද, අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වාසය කරයිද, මහණෙනි, පුද්ගල තෙමේ මෙසේ ශ්‍රමණ පදුම වේ.’’

’’මහණෙනි,කෙසේනම් පුද්ගල තෙමේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, බොහෝ සේ යාච්ඤා කරණ ලද්දේම සිවුරු පරිභෝග කරයි. යාච්ඤා නොකොට ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ වශයෙන් පිණ්ඩපාතය පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්ප වශයෙන් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ සෙනසුන් පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේම බොහෝ ගිලන්පස, බෙහෙත් පිරිකර පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යම් සබ්‍රම්සරුන් සමග වාසය කරයිද, ඔවුහු ඔහුට මනාප කාය කර්‍මයෙන් යුක්තව බොහෝ සේ හැසිරෙයි.’’

’’අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප වාක් කර්‍මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප මනො කර්මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, මනාපවූ බෙහෙත් පූජා එලවත්. අමනාපව ස්වල්පය, පිතෙන් හටගත් හෝ, සෙමින් හටගත් හෝ, වාතයෙන් හටගත් හෝ, සන්නිපාතයෙන් හටගත් හෝ, ඎතු විපර්‍ය්‍යාසයෙන් හටගත් හා්, විෂම පැවැත්මෙන් හටගත් හෝ, උපක්‍රමයෙන් හටගත් හෝ, කර්ම විපාකයෙන් හටගත් හෝ, යම් ඒ වේදනා කෙනෙක් ඇද්ද, ඔහුට බොහෝ නොඋපදිත්. අල්පබාධා වේ. විශිෂ්ට සිතෙහි පහළවූ, මේ ආත්මයෙහි සැප විහරණවූ, සතර ධ්‍යානයන් අයත්නයෙන් ලැබෙන්නේ වේ. නොදුකින් ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධිය, අර්‍හත් ඵල ප්‍රඥාව, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයි.

’’මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල පුද්ගලයා වේ. මහණෙනි, ඒ යමෙක් උදෙසා මනාකොට කියන්නාහු, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාලයයි කියත්ද, ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාලයයි මනාකොට කියන්නාහු, මා ගැනම කියන්නාහුය.

’’මහණෙනි, මම වනාහි යාච්ඤා කරණ ලද්දේ බොහෝ සිව්රු පරිභෝග කරමි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ පිණ්ඩපාතයන් පරිභෝග කරමි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ සේනාසන පරිභෝග කරමි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යාච්ඤා කරණ ලද්දේම බොහෝ ගිලන්පස, බෙහෙත් පිරිකර පරිභෝග කරමි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යම් භික්‍ෂූන් සමග වාසය කරම්ද, ඔවුහු මට බොහෝ සේ මනාප කාය කර්‍මයෙන් හැසිරෙත්.’’

’’අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප වාක් කර්‍මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප මනො කර්මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, මනාපවූ බෙහෙත් පූජා එලවත්. අමනාපව ස්වල්පය, පිතෙන් හටගත් හෝ, සෙමින් හටගත් හෝ, වාතයෙන් හටගත් හෝ, සන්නිපාතයෙන් හටගත් හෝ, ඎතු විපර්‍ය්‍යාසයෙන් හටගත් හා්, විෂම පැවැත්මෙන් හටගත් හෝ, උපක්‍රමයෙන් හටගත් හෝ, කර්ම විපාකයෙන් හටගත් හෝ, යම් ඒ වේදනා කෙනෙක් ඇද්ද, ඔහුට බොහෝ නොඋපදිත්. අල්පබාධා වේ. විශිෂ්ට සිතෙහි පහළවූ, මේ ආත්මයෙහි සැප විහරණවූ, සතර ධ්‍යානයන් අයත්නයෙන් ලැබෙන්නේ වේ. නොදුකින් ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධිය, අර්‍හත් ඵල ප්‍රඥාව, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයි.

’’මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල පුද්ගලයා වේ. මහණෙනි, ඒ යමෙක් උදෙසා මනාකොට කියන්නාහු, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාලයයි කියත්ද, ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාලයයි මනාකොට කියන්නාහු, මා ගැනම කියන්නාහුය.

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්ය’’ යි වදාළ සේක.