අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. මචල වර්‍ගය

8. දුතිය සමණ මචල සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

’’ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පද්ම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.’’

’’මහණෙනි, ශ්‍රමණ මචල පුද්ගලයා කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සංයෝජන තුන් දෙනෙකුගේ ක්‍ෂවීමෙන් නිරයට නොයන ස්වභාව ඇති, සුගති නියතවූ, රහත් බව පරම ප්‍රතිෂ්ඨාකොට ඇති සෝවාන් වූවෙක් වේද, මහණෙනි, මේ පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මොහයෙන් තුනීවූ බැවින් සකෘදාගාමී වේද, වරක් මෙලොවට පැමිණ දුක් කෙළවර කරයිද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමධාතුව භජනය කරණ සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ඔපපාතික වේද, එහි පිරිනිවියේ ලෝකයෙන් නැවත එන ස්වභාව නැත්තේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේ.

’’මහණෙනි,කෙසේනම් පුද්ගල තෙමේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, බොහෝ සේ යාච්ඤා කරණ ලද්දේම සිවුරු පරිභෝග කරයි. යාච්ඤා නොකොට ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ වශයෙන් පිණ්ඩපාතය පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්ප වශයෙන් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ සෙනසුන් පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේම බොහෝ ගිලන්පස, බෙහෙත් පිරිකර පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යම් සබ්‍රම්සරුන් සමග වාසය කරයිද, ඔවුහු ඔහුට මනාප කාය කර්‍මයෙන් යුක්තව බොහෝ සේ හැසිරෙයි.’’

’’අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප වාක් කර්‍මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප මනො කර්මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, මනාපවූ බෙහෙත් පූජා එලවත්. අමනාපව ස්වල්පය, පිතෙන් හටගත් හෝ, සෙමින් හටගත් හෝ, වාතයෙන් හටගත් හෝ, සන්නිපාතයෙන් හටගත් හෝ, ඎතු විපර්‍ය්‍යාසයෙන් හටගත් හා්, විෂම පැවැත්මෙන් හටගත් හෝ, උපක්‍රමයෙන් හටගත් හෝ, කර්ම විපාකයෙන් හටගත් හෝ, යම් ඒ වේදනා කෙනෙක් ඇද්ද, ඔහුට බොහෝ නොඋපදිත්. අල්පබාධා වේ. විශිෂ්ට සිතෙහි පහළවූ, මේ ආත්මයෙහි සැප විහරණවූ, සතර ධ්‍යානයන් අයත්නයෙන් ලැබෙන්නේ වේ. නොදුකින් ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධිය, අර්‍හත් ඵල ප්‍රඥාව, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයි.

’’මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල පුද්ගලයා වේ. මහණෙනි, ඒ යමෙක් උදෙසා මනාකොට කියන්නාහු, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාලයයි කියත්ද, ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාලයයි මනාකොට කියන්නාහු, මා ගැනම කියන්නාහුය.

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’