අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. බාල වර්‍ගය

1. පඤ්ච තථාගත බල සූත්‍රය

’’මහණෙනි, මම පෙර නොඅසන ලද චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන්හි විශිෂ්ට ඥානයෙන් දැන කෙළවර කිරීමෙන් පරතෙරට පැමිණියේ ප්‍රතිඥා කෙළෙමි.

’’මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රෙෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රෙෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.

’’කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි.

’’මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රෙෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රෙෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.