අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(13) 3. ගිලාන වර්‍ගය

1. ගිලානසාලා සූත්‍රය

’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙරෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගී සිටි සේක්, ගිලන්හල යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ එක්තරා දුර්‍වලවූ ගිලන් භික්‍ෂුවක් දුටු සේක්මය. දැක පනවනලද අස්නෙහි වැඩ උන් සේක. වැඩහිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

’’මහණෙනි, යම්කිසි දුර්‍වල ගිලනක්හු කරුණු පසක් නොහරිද්ද, ඔහුට මෙය කැමතිවිය යුතුය. නොබෝ කලකින්ම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේය.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම කයෙහි අශුභ අරමුණු අනුව බලමින් වාසය කෙරේද, ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ වේද, සියලු ලෝකයෙහි නොඇලුනු සංඥා ඇත්තේද, සියලු සංස්කාරයන්හි අනිත්‍ය අනුව බලමින් වාසය කෙරේද, මොහුගේ මරණ සංඥාව වනාහි තමන් කෙරෙහි මනාව එළඹ සිටියාවේද යන පසයි.

’’මහණෙනි, යම්කිසි දුර්‍වල ගිලනක්හු කරුණු පසක් නොහරිද්ද, ඔහුට මෙය කැමතිවිය යුතුය. නොබෝ කලකින්ම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේය.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ කරුණු පසක් වඩාද, කරුණු පසක් බහුලව කෙරේද, ඔහුට ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුයි. මේ ආත්මයෙහිම රහත් බව හෝ, උපාදානයන්ගේ ශෙෂවීම ඇති කල්හි අනාගාමී බව හෝ යනුයි.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහුගේ ධර්‍මයන්ගේ ඇතිවීම නැතිවීම පිණිස පවත්නා ප්‍රඥාව පිණිසවූ සිහිය තමන් කෙරෙහිම එළඹ සිටියා වේද, කයෙහි අසුබ අරමුණු අනුව බලමින් වාසය කෙරේද, ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ වේද, සියලු ලෝකයෙහි නොඇලුනු සංඥා ඇත්තේ වේද, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වාසය කෙරේද, යන පසයි.