අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(14) 4. රාජ වර්‍ගය

4. සකවිජිත සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්‍ෂත්‍රිය රජ තෙම යම් යම් දිශාවක වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි.

’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්‍ෂත්‍රිය රජ තෙම,

’’මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද,

’’ආඪ්‍යවූයේ, මහත් ධන ඇත්තේ, මහත් සම්පත් ඇත්තේ, සම්පූර්‍ණවූ භාණ්ඩාගාර කොටුගුල් ඇත්තේ වේද, බලවත්වූයේ වනාහි කීකරුවූ, අවවාදය අනුව කරන්නාවූ, සිව්රඟ සෙනගින් යුක්ත වූයේ වේද, මොහුට වනාහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණ ඇත්තාවූ, පසුගියාවූද, පැමිනෙන්නාවූද, පවත්නාවූද කාලයන් පිළිබඳවූ, කරුණු සිතන්ට සමර්ත්‍ථවූ පුත්‍රයෙන් වේද, ඔහුගේ මේ ධර්ම සතර යශස මුහුකුරුවත්. හෙතෙම මේ පස්වෙනි ධර්මයෙන් යුක්තවූයේ, යම් යම් දිශාවෙක්හි වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි.

’’ඊට හේතු කවරේද යත්, මහණෙනි, ගන්නා ලද විජය ඇත්තවුන්ට මෙය මෙසේම වේ. මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම යම් යම් දිශාවෙක්හි වාසය කෙරේද, කෙළෙසුන්ගෙන් මිදුනාවූ සිත් ඇතිව වාසය කෙරෙයි. කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම,

’’සිල්වත්වූයේද, ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නාසුළු වූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේද,

’’මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ජාති සම්පන්නවූ ක්‍ෂත්‍රිය රජ මෙනි.

’’බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්‍ථ සහිත වූවාහු, ව්‍යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙද්ද,

’’ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් සම්පත් ඇත්තාවූ, පිරිපුන් ගබඩා කොටුගුල් ඇත්තාවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජ මෙනි.

’’පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ, අකුශල ධර්‍මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්‍මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද,

’’බලයෙන් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්‍ෂත්‍රිය රජ මෙනි.

’’ප්‍රඥා ඇත්තේ, ආර්‍ය්‍යවූ, කෙලෙස් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම, නැතිවීම දැනගන්නා ප්‍රඥාවෙන් යුක්තවේද,

’’මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ පුත්‍රයෙකු ඇත්තාවූ ක්‍ෂත්‍රිය රජ මෙනි. ’ඔහුගේ මේ ධර්ම සතර විමුක්තිය මුහුකුරුවත්. හෙතෙම මේ විමුක්තිය පස්වෙනිකොට ඇති ධර්මයෙන් යුක්තවූයේ යම් යම් දිශා වෙක්හි වාසය කෙරේද, කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇතිව වාසය කෙරෙයි. ඊට හේතු කවරේද යත්, මහණෙනි, කෙළෙසුන්ගෙන් මිදුනාවූ සිත් ඇත්තවුන්ට මෙය මෙසේම වේය’’ යි වදාළ සේක.