අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(15) 5. තිකණ්ටකී වර්‍ගය
1. දත්වා අවජානන සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ පස්දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්? දානය කොට අවමන් කෙරෙයි. එක්ව විසීමෙන් අවමන් කරයි. ගැණීමෙහි දොරටු ඇත්තේ වේ. ලොල්වූයේ වෙයි. මඳ නුවණ ඇත්තේ අතිශයින් මුළාවූයේ වෙයි යන මොහුය.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම දානය දී අවමන් කෙරේද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකුට සිවුරු, පිණ්ඩපාත, ශයනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දේද, ඔහුට මෙබඳු සිතක් වේ. ’මම දෙමි. මෙතෙමේ පිළිගනීය’ යි ඔහුට දානය දී අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම දානය දී අවමන් කෙරෙයි. මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම එක්ව විසීමෙන් අවමන් කෙරේද? මහණෙනි, මෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග අවුරුදු දෙකක් හෝ තුනක් හෝ වාසය කරයිද, ඔහුට එක්ව විසීමෙන් අවමන් කරයිද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම එක්ව විසීමෙන් අවමන් කරයි. මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ගැණීමෙහි දොරටු ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අනිකාගේ ගුණයක් හෝ අගුණයක් හෝ කියනු ලබන කල්හි එය වහාම අදහන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ගැණීමෙහි දොරටු ඇත්තේ වේ. මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ලොල්වූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම මඳවූ ශ්‍රද්‍ධා ඇත්තේ, මඳවූ භක්ති ඇත්තේ, මඳවූ ප්‍රේම ඇත්තේ, මඳවූ ප්‍රසාද ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුදගල තෙම ලොල්වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම මඳ නුවණ ඇත්තේ ඉතා මුළාවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කුශලාකුශල ධර්‍මයක් නොදනීද? සාවද්‍ය අනවද්‍ය ධර්‍මයන් නොදනීද, හීන ප්‍රණත ධර්‍මයන් නොදනීද, තෘෂ්ණා, ශුක්ල, සප්‍රතිභාග ධර්‍මයන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම මඳ නුවණ ඇත්තේ ඉතා මුළා වූයේ වේ.
’’මහණෙනි, මේ පුද්ගලයෝ පස්දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.