අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(10) 5. කකුධ වර්‍ගය

6. සුත සන්නිචය සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අර්හත්‍වය ප්‍රතිවේධ කරයි.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්‍ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්‍රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද,

’’බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද,

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අර්හත්‍වය ප්‍රතිවේධ කරයි.