අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(10) 5. කකුධ වර්‍ගය

7. දසකථාලාභී සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අර්හත්‍වය ප්‍රතිවේධ කරයි.

’’කවර පසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මද සමාරම්භ ඇත්තේ, ස්වල්ප කටයුතු ඇත්තේ, පොෂ්‍ය කිරීමට පහසුවූයේ, ජීවිත සම්භාරයන්හි මනා සන්තෝෂ ඇත්තේ වේද, මඳ ආහාර ඇත්තේ, අනෝදාරික භාවයෙහි යෙදුනේ වේද, ස්වල්පවූ නිද්‍රා ඇත්තේ නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද,

’’භික්‍ෂු තෙම අතිශයින් කෙලෙස් ලියන්නාවූ චිත්ත විවරණ නම් සමථ විදර්‍ශනාවන්ට හිතවූ යම් මේ කථාවක් වේද, එනම් අල්පේච්ඡ බව පිළිබඳ කථාය, සතුටුබව පිළිබඳ කථාය, ප්‍රකර්‍ෂ විවේකය පිළිබඳ කථාය, සංසර්‍ග නොවීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ කථාය, සීල කථාය, සමාධි කථාය, ප්‍රඥා කථාය, විමුක්ති කථාය, විමුක්ති ඥාන දර්‍ශන කථාය යන මෙබඳු කථාවගේ කැමති පරිදි ලැබීම ඇත්තෙක් නිදුකින් ලැබීම ඇත්තෙක්, බහුලව ලැබීම ඇත්තෙක් වේද, විවේකය හිස් නොකෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි යෙදේද, මහණෙනි, මේ පස්වන කාරණය ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතියි. මිදුනු සිත ප්‍රත්‍යවෙක්‍ෂා කෙරේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ආනාපාන සතිය සේවනය කරන්නේ නොබෝ කලකින්ම අර්හත්‍වය ප්‍රතිවේධ කරයි.