අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(10) 5. කකුධ වර්‍ගය
9. සීහොපම තථාගත සූත්‍රය
’’මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම සවස් වේලාවෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කෙසරු සලා ඇඟ සොලවයි. කෙසරු සලා හාත්පස සතර දිශාව බලයි. හාත්පස සතර දිශාව බලා, තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද පවත්වා ගොදුරු පිණිස බැහැර යයි. හෙතෙම ඉදින් ඇතෙකුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් මීමෙකුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් ගවයෙතුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් දිවියෙතුටද පහර දේ නම් සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඉදින් කුඩාවූද සතුන්ට පහර දේ නම් යටත් පිරිසෙයින් සාවුන්ට බළලුන්ටද සකස්කොටම පහර දෙයි. නොසකස්කොට පහර නොදෙයි. ඊට හේතු කවරේද?
’’මාගේ යෝග්‍ය පථය හෙවත් කරණ ලද උපක්‍රමය නොනසීවායි. මහණෙනි, සිංහයායයි කියා අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේට මේ නමකි. මහණෙනි, තථාගත තෙමේ පිරිසට යම් ධර්මයක් වනාහි දේශනා කෙරේද, මෙය මොහුගේ සිංහ නාදය නම් වේ. මහණෙනි, ඉදින් භික්‍ෂූන්ටද,
’’තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි.
’’මහණෙනි, ඉදින් භික්‍ෂූණීන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. ඉදින් උපාසකවරුන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් උපාසිකාවරුන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. මහණෙනි, ඉදින් පෘතග්ජනයන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් යටත් පිරිසෙයින් අන්නහාර නෙසාදයන්ටද තන කපනවුන්ට හා ලිහිණි වැද්දන්ටද, තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේනම් සකස් කොටම තථාගත තෙම ධර්‍මය දේශනා කෙරේ. නොසකස්කොට දේශනා නොකෙරෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, තථාගත තෙම ධර්‍මය ගරු කරන්නෙක්, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තෙක් වේය’’ යි වදාළ සේක.