අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(10) 5. කකුධ වර්‍ගය
10. කකුධ කොලියපුත්ත සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායකයෙක්වූ කකුධ නම් කෝලිය පුත්‍ර තෙම නොබෝ කල්හි කළුරිය කරණ ලද්දේ,
’’එක්තරා මනොමය දිව්‍ය කොටසක උපන්නේ වේ. ඔහුගේ මෙබඳු ආත්මභාව ප්‍රතිලාභයක් වේ. යම් සේ නම් මගධ දේශයෙහිවූ ග්‍රාම ක්‍ෂෙත්‍ර දෙකක් හෝ තුණක් හෝ වෙද්ද, එමෙනි හෙතෙම ඒ ආත්මභාව ප්‍රතිලාභයෙන් තමන්ට නොපෙළයි. අනිකෙකුටද නොපෙළයි.
’’ඉක්බිති කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියාවූම කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, දේවදත්ත ස්ථවිරයන්ට මෙබඳු කැමැත්තක් උපන්නේය. ’මම භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’. ස්වාමීනි, සිත පහළවීම සමගම දේවදත්ත තෙම ඒ ඎර්ධියෙන් පිරිහුනේය’’ යි කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම මෙය සැළකෙළේය.
’’මෙය සැළකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එතැන්හිම අන්තර්‍ධාන වූයේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙම භාගයවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
’’ස්වාමීනි, මාගේ උපස්ථායකයෙක්වූ කකුධ නම් කෝලිය පුත්‍ර තෙම ලඟදී කළුරිය කෙළේය. එක්තරා මනොමය දිව්‍ය කොටසක උපන්නේ වේ. ඔහුගේ මෙබඳු ආත්මභාව ප්‍රතිලාභයක් වේ. යම් සේ නම් මගධ දේශයෙහිවූ ග්‍රාම ක්‍ෂෙත්‍ර දෙකක් හෝ තුණක් හෝ වෙද්ද, එමෙනි හෙතෙම ඒ ආත්මභාව ප්‍රතිලාභයෙන් තමන්ට නොපෙළයි. අනිකෙකුටද නොපෙළයි.
’’ස්වාමීනි, ඉක්බිති කකුධ නම් දේවපුත්‍ර තෙම මා යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මට වැඳ, එකත්පස්ව සිටියේය. ස්වාමීනි, එකත්පස්ව සිටියාවූම කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම මට මෙය සැළකෙළේය.
ස්වාමීනි, දේවදත්ත ස්ථවිරයන්ට මෙබඳු කැමැත්තක් උපන්නේය. ’මම භික්‍ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’. ස්වාමීනි, සිත පහළවීම සමගම දේවදත්ත තෙම ඒ ඎර්ධියෙන් පිරිහුනේය’’ යි කකුධ නම් දිව්‍යපුත්‍ර තෙම මෙය සැළකෙළේය. මෙය සැළකොට මට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එතැන්හිම අන්තර්‍ධාන වූයේය.’’
’’මොග්ගල්ලානයෙනි, කිමෙක්ද? තොප විසින් කකුධ නම් දේවපුත්‍ර තෙම සිතින් සිත පිරිසිඳ දැනගන්නා ලද්දේද? කකුධ නම් දේවපුත්‍ර තෙම යම් කිසිවක් කියාද, ඒ සියල්ල එසේම වේද, නොහොත් අන් පරිද්දෙකින් වෙද්ද?’’
’’ස්වාමීනි, මා විසින් කකුධ නම් දේවපුත්‍ර තෙම සිතින් සිත පිරිසිඳ දැනගන්නා ලද්දේය. කකුධ නම් දේවපුත්‍ර තෙම යම් කිසිවක් කියාද, ඒ සියල්ල එසේම වේ, නොහොත් අන් පරිද්දෙකින් නොවේය.’’
’’මොග්ගල්ලානය, මේ වචනය ආරක්‍ෂා කරව. දැන් ඒ හිස් පුරුෂ තෙම තෙමේම තමා පහළ කරන්නේය’’ යි වදාළ සේක.
’’මොග්ගල්ලානයෙනි, මේ ශාස්තෲවරු පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්?
’’මොග්ගල්ලානය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් පිරිසිදු නොවූ සිල් ඇත්තේම පිරිසිදුවූ සිල් ඇත්තේ වෙමියි ප්‍රතිඥා කෙරෙයි. මාගේ ශීලය පිරිසිදුය, නිර්‍මලය, නොකිලිටුය කියායි. ශ්‍රාවකයෝ ඔහු මෙසේ දනිත්. මේ පින්වත් ශාස්තෘ තෙම වනාහි අපිරිසිදු සිල් ඇත්තේම පිරිසිදු සිල් ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරයි. ’ මාගේ ශීලය පිරිසිදුය, නිර්‍මලය, නොකිලිටුය’ කියායි.
’’අපිදු වනාහි ගිහින්ට සැළ කරන්නෙමු නම් මොහුට මනාපයක් නොවන්නේය. යමක් වනාහි මොහුට අමනාපද කෙසේ නම් අපි එයින් කියන්නෙමුද, චීවරය, පිණඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් බුහුමන් කෙරේමය. යමක් මෙතෙම කරන්නේද, මෙතෙමේම එයින් ප්‍රකට වන්නේය.
’’මොග්ගල්ලානය, මෙබඳුවූ ශාස්තෲහු වනාහි ශ්‍රාවකයෝ ශීලයෙන් රක්‍ෂා කරත්. මෙබඳු ශාස්තෘ තෙමේද ශ්‍රාවයන් විසින් ශීලයෙන් රක්‍ෂා කිරීම ප්‍රාර්ත්‍ථනා කරයි.
’’ මොග්ගල්ලානය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් අපිරිසිදුවූ ජීවිකාව ඇත්තේම පිරිසිදුවූ ජීවිකාව ඇත්තේ වෙමියි ප්‍රතිඥා කෙරෙයි. මාගේ ජීවිකාව පිරිසිදුය, නිර්‍මලය, නොකිලිටුය කියායි. ඔහු ශ්‍රාවකයෝ මෙසේ දනිත්. මේ පින්වත් ශාස්තෘ තෙම වනාහි අපිරිසිදුවූ ජීවිකාව ඇත්තේම පිරිසිදුවූ ජීවිකාව ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරයි. ’මාගේ ජීවිකාව පිරිසිදුය, නිර්මලය, නොකිළුටුය’ කියායි. අපිදු වනාහි ගිහින්ට සැළ කරන්නෙමු නම් මොහුට මනාපයක් නොවන්නේය. යමක් වනාහි මොහුට අමනාපද කෙසේ නම් අපි එයින් කියන්නෙමුද, චීවරය, පිණඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් බුහුමන් කෙරේමය. යමක් මෙතෙම කරන්නේද, මෙතෙමේම එයින් ප්‍රකට වන්නේය.
’’මොග්ගල්ලානය, මෙබඳුවූ ශාස්තෲහු වනාහි ශ්‍රාවකයෝ ජීවිකාවෙන් රක්‍ෂා කරත්. මෙබඳුවූ ශාස්තෘ තෙමේද වනාහි ශ්‍රාවකයන් විසින් ජීවිකාවෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු වෙයි.
’’මොග්ගල්ලානය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් අපිරිසිදුවූ ධර්ම දේශනා ඇත්තේම පිරිසිදුවූ ධර්ම දේශනා ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරයි. ’මාගේ ධර්ම දේශනාව පිරිසිදුය, නිර්‍මලය, නොකිලිටුය’ කියායි. ඔහු ශ්‍රාවකයෝ මෙසේ දනිත්. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි අපිරිසිදුවූ ධර්ම දේශනා ඇත්තේම පිරිසිදුවූ ධර්ම දේශනා ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරයි. ’මාගේ ධර්ම දේශනාව පිරිසිදුය, නිර්මලය, නොකිළුටුය’ කියායි. අපිදු වනාහි ගිහින්ට සැළ කරන්නෙමු නම් මොහුට මනාපයක් නොවන්නේය. යමක් වනාහි මොහුට අමනාපද කෙසේ නම් අපි එයින් කියන්නෙමුද, චීවරය, පිණඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් බුහුමන් කෙරේමය. යමක් මෙතෙම කරන්නේද, මෙතෙමේම එයින් ප්‍රකට වන්නේය.
’’මොග්ගල්ලානය, මෙබඳු ශාස්තෲහු වනාහි ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙන් රක්‍ෂා කරත්. මෙබඳුවූ ශාස්තෘ තෙමේද වනාහි ශ්‍රාවකයන් විසින් ධර්ම දේශනාවෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු වෙයි.
’’මොග්ගල්ලානය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් අපිරිසිදුවූ ප්‍රකාශ කිරීම් ඇත්තේම පිරිසිදුවූ ප්‍රකාශ කිරීම් ඇත්තේ වෙමියි ප්‍රතිඥා කෙරෙයි. ’මාගේ ප්‍රකාශ කිරීම පිරිසිදුය, නිර්මලය, නොකිලුටුය’ කියායි. ඔහු ශ්‍රාවකයෝ මෙසේ දනිත්. මේ පින්වත් ශාස්තෘ තෙමේ අපිරිසිදු ප්‍රකාශ ඇත්තේම පිරිසිදුවූ ප්‍රකාශ ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරයි. ’මාගේ ප්‍රකාශය පිරිසිදුය, නිර්මලය, නොකිළුටුය’ කියායි. අපිදු වනාහි ගිහින්ට සැළ කරන්නෙමු නම් මොහුට මනාපයක් නොවන්නේය. යමක් වනාහි මොහුට අමනාපද කෙසේ නම් අපි එයින් කියන්නෙමුද, චීවරය, පිණඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් බුහුමන් කෙරේමය. යමක් මෙතෙම කරන්නේද, මෙතෙමේම එයින් ප්‍රකට වන්නේය.
’’මොග්ගල්ලානය, මෙබඳු ශාස්තෲහු වනාහි ශ්‍රාවකයෝ ප්‍රකාශ කිරීමෙන් රක්‍ෂා කරත්. මෙබඳුවූ ශාස්තෘ තෙමේද ශ්‍රාවකයන් විසින් ප්‍රකාශ කිරීමෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු වෙයි.
’’මොග්ගල්ලානය, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් අපිරිසිදුවූ නුවණින් දැකීම් ඇත්තේම පිරිසිදුවූ නුවණින් දැකීම් ඇත්තේ වෙමියි ප්‍රතිඥා කෙරෙයි. ’මාගේ නුවණින් දැකීම පිරිසිදුය, නිර්මලය, නොකිළුටුය’ කියායි. ඔහු ශ්‍රාවකයෝ මෙසේ දනිත්. මේ පින්වත් ශාස්තෘ තෙමේ අපිරිසිදුවූ නුවණින් දැකුම් ඇත්තේම පිරිසිදුවූ නුවණින් දැකුම් ඇත්තේ වෙමියි ප්‍රතිඥා කෙරෙයි. ’මාගේ නුවණින් දැක්ම පිරිසිදුය, නිර්මලය, නොකිළුටුය’ කියායි. අපිදු වනාහි ගිහින්ට සැළ කරන්නෙමු නම් මොහුට මනාපයක් නොවන්නේය. යමක් වනාහි මොහුට අමනාපද කෙසේ නම් අපි එයින් කියන්නෙමුද, චීවරය, පිණඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් බුහුමන් කෙරේමය. යමක් මෙතෙම කරන්නේද, මෙතෙමේම එයින් ප්‍රකට වන්නේය.
’’මොග්ගල්ලානය, මෙබඳු ශාස්තෲහු වනාහි ශ්‍රාවකයෝ ඥාන දර්‍ශනයෙන් රක්‍ෂා කරත්. මෙබඳු ශාස්තෘ තෙමේද ශ්‍රාවකයන් විසින් ඥාන දර්‍ශනයෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු වෙයි.
’’මොග්ගල්ලානයෙනි, මේ ශාස්තෲවරු පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්.
’’මොග්ගල්ලානය, මම වනාහි පිරිසිදුවූ සිල් ඇත්තේම පිරිසිදුවූ සිල් ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරමි. මාගේ ශීලය පිරිසිදුය, නිර්‍මලය, නොකිළුටුයයි මා ශ්‍රාවකයෝ ශීලයෙන් නොම රක්‍ෂා කෙරෙත්. මම ශ්‍රාවකයන් විසින් ශීලයෙන් රක්‍ෂා කිරීම නොම බලාපොරොත්තු වෙමි. පිරිසිදුවූ ජීවිකාව ඇත්තේම, පිරිසිදුවූ ජීවිකාව ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරමි. මාගේ ජීවිකාව පිරිසිදුය, නිර්‍මලය, නොකිළුටුයයි මා ශ්‍රාවකයෝ ජීවිකාවෙන් නොම රක්‍ෂා කෙරෙත්. මමද ශ්‍රාවකයන් විසින් ජීවිකාවෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු නොවෙමි. පිරිසිදුවූ ධර්ම දේශනා ඇත්තේම පිරිසිදුවූ ධර්ම දේශනා ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරමි. මාගේ ධර්ම දේශනාව පිරිසිදුය, නිර්‍මලය, නොකිළුටුයයි මා ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙන් නොම රක්‍ෂා කෙරෙත්. මම ශ්‍රාවකයන් විසින් ධර්ම දේශනාවෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු නොවෙමි. පිරිසිදුවූ ප්‍රකාශ ඇත්තේම, පිරිසිදුවූ ප්‍රකාශ ඇත්තේ වෙමියි ප්‍රතිඥා කෙරෙමි. මාගේ ප්‍රකාශය පිරිසිදුය, නිර්‍මලය, නොකිළුටුයයි මා ශ්‍රාවකයෝ ප්‍රකාශ කිරීමෙන් නොම රක්‍ෂා කෙරෙත්. මම ශ්‍රාවකයන් විසින් ප්‍රකාශ කිරීමෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු නොවෙමි. පිරිසිදුවූ ඥාන දර්‍ශනය ඇත්තේම, පිරිසිදුවූ ඥාන දර්‍ශනය ඇත්තේ වෙමියි ප්‍රතිඥා කරමි. මාගේ ඥාන දර්‍ශනය පිරිසිදුය, නිර්‍මලය, නොකිළුටුයයි මා ශ්‍රාවකයෝ ඥාන දර්‍ශනයෙන් නොම ආරක්‍ෂා කෙරෙත්. මම ශ්‍රාවකයන් විසින් ඥාන දර්‍ශනයෙන් රක්‍ෂා කිරීම බලාපොරොත්තු නොවෙමි’’ යි වදාළ සේක.
කකුධවග්ගො පඤ්චමො.
දෙවන පණ්ණාසකය නිමි.