සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

2. ආහාර වර්ගය

4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, කිනම් ධර්මයන් නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ ඇතිවීම නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවීම නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය නොදනිත්ද? ජරා මරණය නොදනිත්ද, ජරා මරණයන්ගේ ඇතිවීම නොදනිත්ද, ජරාමරණයන්ගේ නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද, ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, භවය නොදනිත්ද, භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිකරන මාර්ගය නොදනිත්ද, තණ්හාව නොදනිත්ද තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද, වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවීම නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද, ස්පර්ශය නොදනිත්ද, ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිකරන මාර්ගය නොදනිත්ද, නාමරූපයන් නොදනිත්ද, නාමරූපයන් ඇතිවීම නොදනිත්ද, නාමරූපයන් නැතිවීම නොදනිත්ද, නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද, සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන්ගේ නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිවන මාර්ගය නොදනිත්ද, මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිවන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙති. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන් නැතිවන මාර්ගය දනිත්ද, කිනම් ධර්මයක් දනිත්ද, කිනම් ධර්මයක්හුගේ ඇතිවීම දනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවීම දනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය දනිත්ද? ජරාමරණය දනිත්ද, ජරාමරණයාගේ ඇතිවීම දනිත්ද, ජරාමරණය නැතිවීම දනිත්ද, ජරාමරණය නැතිවෙන මාර්ගය දනිත්ද, ඉපදීම දනිත්ද, ඉපදීම ඇතිවීම දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිවෙන මාර්ගය දනිත්ද, භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිවෙන මාර්ගය දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙන මාර්ගය දනිත්ද, තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැතිවෙන මාර්ගය දනිත්ද, වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද වේදනාව නැති වෙන මාර්ගය දනිත්ද ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවෙන මාර්ගය දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම දනිත්ද, සළායතන (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිවෙන මාර්ගය දනිත්ද, නාමරූපයන් දනිත්ද, නාමරූපයන් ඇතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවෙන මාර්ගය දනිත්ද, විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවෙන මාර්ගය දනිත්ද, සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිවෙන මාර්ගය දනිත්ද, මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවෙන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද, මේ ආත්මභාවයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරති.

(සතරවන ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)