සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය

1. පච්චය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනී” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරාමරණය නොදනිත්ද, ජරාමරණයට හේතුව නොදනිත්ද, ජරාමරණයන්ගේ නැතිවීම නොදනිත්ද, ජරාමරණය නැති කරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරාමරණය දනිත්ද ජරාමරණයට හේතුව දනිත්ද ජරා මරණය නැතිවීම දනිත්ද ජරාමරණය නැතිකරන මාර්ගය දනිත්ද, මහණෙනි ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය (ශ්‍රමණ භාවයේ ඵලය) හෝ බ්‍රාහ්මණාර්ථය (බ්‍රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්ම භාවයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙති.”

(පළමුවැනි පච්චය සූත්‍රය නිමි.)