සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
9. අන්තර පෙය්යාලය
1. සත්ථු වර්ගය
සත්ථු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, තත්වූ පරිදි ජරාමරණය නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. ජරාමරණය නැතිවීම තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණ නිරොධයෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූපරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.
(පළමුවන සත්ථු සූත්‍රය නිමි.)