සංයුත්තනිකායො

නිදාන වර්ගය

6. ලාභසක්කාර සංයුත්තය

1. ප්‍රථම වර්ගය

10. සගාථ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, මම මේ ශාසනයෙහි සත්කාරයෙන් මඩනාලද විනාශ කරන ලද කුසල් සිත් ඇති, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ, ඇතැම් පුද්ගලයකු දකිමි.

“මහණෙනි, මම මේ ශාසනයෙහි අසත්කාරයෙන් මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි. මහණෙනි, මම මේ ශාසනයෙහි සත්කාරයෙන්ද, අසත්කාරයෙන්ද යන ඒ දෙකින්ම මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි.

“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව මේ ගාථා දෙකද වදාළසේක.

“අර්හත් ඵල සමාධියෙන් යුක්තව වාසය කරන්නාවූ යමෙකුගේ සත්කාර කිරීමෙන්ද, සත්කාර නොකිරීමෙන්ද යන දෙයාකාරයෙන්ම සමාධිය කම්පා නොවේද?”

“නිතර සමාධියෙන් යුක්තවූ මාර්ගඥානයෙන් හා විදර්ශනා ඥානයෙන් යුක්තවූ සතර උපාදානයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණයෙහි ඇලුණාවූ ඔහු සත්පුරුෂයයි කීහු.”

(දසවෙනි සගාථ සූත්‍රය නිමි.)

පළමුවෙනි වර්ගය නිමි.

දාරුණ සූත්‍රය, බාළිස සූත්‍රය, කුම්මාස සූත්‍රය, දීඝ ලෝමී සූත්‍රය, පුනේළක සූත්‍රය, අසනි සූත්‍රය, දිද්ධ සූත්‍රය, සිගාල සූත්‍රය, වේරම්බ සූත්‍රය සහ සගාථ සූත්‍රය දැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.