සංයුත්තනිකායො

නිදාන වර්ගය

6. ලාභසක්කාර සංයුත්තය

3. තුන්වැනි වර්ගය

4. ධීතු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“මහණෙනි, ශ්‍රද්ධාවත් උපාසිකාවක් තොමෝ ප්‍රියවූ, මනාපවූ, එකම දූහට මනාකොට කියන්නී මෙසේ කියන්නීය. (කෙසේද?) ‘දුවනියෙනි, ඛුජ්ජුත්තර උපාසිකාවද, නන්ද මාතෘවූ වේළුකණ්ඩකී උපාසිකාවද යම්සේද, එසේ වෙයි.’ කියන්නීය. මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත්, වේළුකණ්ඩකී නන්දමාතා උපාසිකාවත් මාගේ ශ්‍රාවිකා උපාසිකාවන්ගේ තරාදිය වෙත්, මිනුම වෙත්. දියෙනියනි, ඉදින් නුඹ වනාහි ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදි වන්නෙහි නම්, ඛේමා උප්පලවණ්ණා භික්ෂුණීන් යම්සේද, එසේ වේවයි’ කියන්නීය. මහණෙනි මේ ඛේමා, උප්පලවණ්ණා භික්ෂුණීහු මාගේ ශ්‍රාවිකා භික්ෂුණීන්ගේ තරාදියයි, මිනුමයි. ‘දියෙනියනි, ශෛක්ෂ්‍යවූ, නොපැමිණි රහත් බැව් ඇත්තාවූ නුඹට වනාහි ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නොපැමිණෙත්වායි’ කියන්නීය.

“මහණෙනි, ඉදින් ශෛක්ෂ්‍යවූ (හික්මෙන්නාවූ) නොලත් රහත් බැව් ඇත්තාවූ, ඒ භික්ෂුණියට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවෝ පැමිණෙද්ද ඒ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවෝ ඔහුට අන්තරාය පිණිස වෙයි. මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(සතරවෙනි ධීතු සූත්‍රය නිමි.)