සංයුත්තනිකායො

නිදාන වර්ගය

6. ලාභසක්කාර සංයුත්තය

1. ප්‍රථම වර්ගය

3. කුම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එක්තරා මුහුදක මහත්වූ කැසුබු කුලයක් බොහෝ කාලයක පටන් වාසය කරන්නේ විය.

“මහණෙනි, ඉක්බිති එක්තරා කැස්බෙක් වනාහි එක්තරා කැස්බෙකුට මෙය කීයේය. ‘දරුව, කැස්බ, නුඹ වනාහි ඒ ප්‍රදේශයට නොයවයි’ කියායි. මහණෙනි, ඒ කැසුබු තෙම ඒ ප්‍රදේශයට ගියේය. ඒ මේ කැස්බාට වැද්දෙක් ඇවුලුම් බිලියකින් ගැසුවේය.

“මහණෙනි, ඉක්බිති ඒ කැසුබුතෙම ඒ අවවාද කළ කැස්බා යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහණෙනි, ඒ අවවාද දුන් කැසුබුවා එන්නාවූ ඒ විදුම් කෑ කැසුබුවා දුරදීම දුටුවේය. දැක ඒ විදුම් කෑ කැස්බාහට මෙය කීයේය, ‘දරුව, කැස්බා, කිමෙක්ද? නුඹ ඒ ප්‍රදේශයට නොගියෙහිද?’ ‘කැසුබු පියාණෙනි, මම වනාහි ඒ ප්‍රදේශයට ගියෙමි.’ ‘දරුව, කැස්බ, කිමෙක්ද? (නුඹට) වනාහි ඇවුලුම් බිලියකින් පහර දෙනු ලැබුයෙහිද?’ ‘කැසුබු පියාණෙනි, මම වනාහි ඇවුලුම් බිලියකින් පහර දෙනු ලැබූවෙමි. මාගේ පසුපස මා අනුව ගමන් කරන්නාවූ, මේ නූලක්ද ඇත්තේය.’ ‘එසේනම් කැසුබු දරුව තුවාල කරන ලද්දේය. එසේනම් නසන ලද්දේය. දරුව, කැස්බ, මේ වැද්දා විසින් තාගේ පිය වරුද, සීයා වරුද දුකට පත්කරනු ලැබූහ. විනාශයට පත්කරනු ලැබූහ. දරුව කැසිබුව, නුඹ දැන් යව. දැන් නුඹ අපගේ නොවේයයි කීවේය.’

“මහණෙනි, වැද්දා යන මේ වචනය වනාහි පවිටුවූ, මාරයාහට කියන නාමයකි. මහණෙනි, ඇවුලුම් බිලිය යන මේ වචනය වනාහි ලාභ සත්කාර ස්තුති ප්‍රශංසාවට කියන නාමයකි. මහණෙනි, නූල යන මේ වචනය වනාහි ආශාවට කියන නාමයකි. යම්කිසි මහණෙක් තෙම වනාහි උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රස විඳියි. ආශා කෙරෙයි.

“මහණෙනි, මේ මහණතෙම (පවිටු මාරයාගේ) ඇවුලුම් බිලියට ගිජුව දුකට පැමිණියේය. විනාශයට පැමිණියේයයි කියාද, පවිටු මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද, කියනු ලැබේ. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.

(තුන්වෙනි කුම්ම සූත්‍රය නිමි.)