සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
1. ප්‍රථම වර්ගය
8. සිගාල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, තෙපි රෑ එළිවෙන ජාමයෙහි හූ කියන්නාවූ ජර සිවලෙකුගේ ශබ්දයක් ඇසුවාහුද?”
“එසේය ස්වාමීනි.”
“මහණෙනි, මේ ජරසිගාලතෙම වනාහි මුළු ශරීරයෙහි ලොම් හැලී වණ සෑදෙන රෝගයක් “උක්කන්තක” නම් රෝගයෙන් ස්පර්ශ කරන ලද්දේ, බෙනයට ගියේද සතුටු නොවෙයි. රුක්මුලට ගියේද සතුටු නොවෙයි. එළිමහන් තැනකට ගියේද සතුටු නොවෙයි. යම් යම් තැනකට යයිද, යම් යම් තැනෙක සිටියිද, යම් යම් තැනෙක හිඳියිද, යම් යම් තැනෙක හොවියිද (දිගාවෙයිද) ඒ ඒ තැන විනාශයට පැමිණෙයි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශකරන ලද කුසල් සිත් ඇත්තේ ශූන්‍යාගාරයට ගියේද සතුටු නොවෙයි. රුක්මුලට ගියේද සතුටු නොවෙයි. එළිමහන් තැනට ගියේද සතුටු නොවෙයි. යම් යම් තැනක යයිද, යම් යම් තැනෙක සිටියිද, යම් යම් තැනක හිඳියිද, යම් යම් තැනෙක නිදයිද, ඒ ඒ තැන විනාශයට පැමිණෙයි.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
(අටවෙනි සිගාල සූත්‍රය නිමි.)