සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

7. ආණි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. (දස භාගයක් අයබදු ගන්නා හෙයින්) ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් විය. ‘දසාරභ’ නම් මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ. මහණෙනි, මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ අතුරුදහන් විය. ඇණ සමූහයම ඉතිරිවිය යන ඒ කාලය වනාහි වූයේය.

“මහණෙනි, එසේම (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”

“මහණෙනි, මෙසේ (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත් වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, මේ සූත්‍රාන්තයන්ගේ අතුරුදන්වීම වන්නේය. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (පාළිවශයෙන්) ‘ගැඹුරුවූ ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙන්නෙමු. කන් නමන්නෙමු. දැනගැනීම පිණිස සිත පිහිටුවන්නෙමු. ඒ ධර්මයන් උගතයුතුයයි පුහුණු කළ යුතුයයි කල්පනා කරන්නෙමුය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(හත්වෙනි ආණි සූත්‍රය නිමි.)