සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

8. කලිඩ්ගර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහා වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“මහණෙනි, දැන් වනාහි ලිච්ඡවි රජදරුවෝ ලීකොට්ටවල හිස තබමින් සහ පා තබමින් අප්‍රමාදව ශිල්ප ඉගෙනීමට සහ ආචාර්‍ය්‍යයන් ඇසුරු කිරීමෙහි අප්‍රමාදව උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුක්තව, වාසය කෙරෙති. මගධ දෙශයෙහිවූ, වේදේහි පුත්‍රවූ, අජාසත් රජතෙම ඒ ලිච්ඡවීන්ගේ සිදුරක් නොලබන්නේය. අවසරයක් නොලබන්නේය. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවි රජදරුවෝ සිව්මැළි වූවාහු, මෘදු මොළොක් අත් පා ඇත්තාහු, පුළුන්කොට්ට ආදියෙන් සැදුම්ලත් මෘදු යහනාවන්හි ඉර පායනතුරු සයනය කරන්නාහුය. මගධ දේශයෙහිවූ, වේදේහ පුත්‍රවූ අජාසත් රජතෙම ඒ ලිච්ඡවීන්ගේ සිදුරක් ලබන්නේය. අවසරයක් ලබන්නේය.

“මහණෙනි, (දැන්) වර්තමාන කාලයෙහි මහණහු ලීකොට්ටවල හිස තබමින්, පා තබමින් භාවනායෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කෙරෙති. පවිටුවූ මාරතෙම ඒ මහණහුන්ගේ සිදුරක් නොලබන්නේය. අවසරයක් නොලබන්නේය. මහණෙනි, අනාගත කාලයෙහි මහණහු සිව්මැළි වූවාහු, මෘදු මොළොක් අත් පා ඇත්තාහු, පුළුන් කොට්ට ආදියෙන් සැදුම්ලත් මෘදු යහනාවන්හි ඉර පායන තෙක් සයනය කරන්නාහුය. පවිටු මාරතෙම ඒ මහණුන්ගේ සිදුරක් ලබන්නේය. අවසරයක් ලබන්නේය.

“මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘ලීකොට්ටවල හිස තබමින්, පා තබමින් භාවනායෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, වාසය කරන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(අටවෙනි කලිඩ්ගර සූත්‍රය නිමි.)