සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
13. අවිජ්ජා වර්ගය
4. අස්සාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද, බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ.
“ඇවැත් සැරියුත් තෙරණුවනි, අවිද්‍යාව අවිද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි ඇසූ පිරූ තැන් නැති, පෘථග්ජනතෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියිද ‘වේදනාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද, මහණෙනි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම අවිද්‍යාවට පැමිණියේයයි කියනු ලැබේ.”
(හතරවෙනි අස්සාද සූත්‍රය නිමි.)