සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
13. අවිජ්ජා වර්ගය
5. අස්සාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු වියයුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ.
‘ඇවැත් සැරියුත් තෙරණුවනි, විද්‍යාව විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘වේදනාවගේ ඇතිවීමද, නැති වීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද, ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දැනගනියිද ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි,’ යනුයි.
(පස්වෙනි අස්සාද සූත්‍රය නිමි.)