සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා තමා පිළිබඳ සැප දුක් දෙක උපදියිද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. වේදනාව ඇති කල්හි වේදනාව නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. සංඥාව ඇති කල්හි සංඥාව නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා තමා පිළිබඳ සැප දුක උපදියි. විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා තමා පිළිබඳ සැප දුක උපදියි.
“මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද?
“රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන්, තමා පිළිබඳ සැප දුක් උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙන ස්වභාව නම් එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“සංස්කාරයෝ නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“විඥාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව නම්, එය දැඩිකොට අල්ලා නොගැනීමෙන් තමා පිළිබඳ සැප දුක් උපදනේද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”
“මහණෙනි, මෙසේ බලන්නාවූ ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරුණේ නොඇලෙයි නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණුකල්හි මිදුණේයයි දැනීම වේ. ජාති තොමෝ ක්ෂයවූවාය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගන්නාලදී.
(පළමුවෙනි අජ්ඣත්ත සූත්‍රය නිමි.)