සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

15. දිට්ඨි වර්ගය

2. එතං මම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පිවිස ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දකීද?

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.

“මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පිවිස, ‘මේ මගේය මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දකීද, වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පිවිස ‘මේ මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ දකීද, සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට පිවිස, ‘මේ මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ දකීද, සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පිවිස, ‘මේ මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි’ දකීද, විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පිවිස, මේ මගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මයයි දකීද,

“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද?

“රූපය නිත්‍යද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”

“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව නම්, එය තදින් අල්ලා නොගැනීමෙන් මෙය මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දක්නේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“වේදනාව නිත්‍යයද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍ය නම් දුක නම්, පෙරළෙන ස්වභාව නම්, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි දක්නේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව නම්, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දක්නේද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”

“සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව නම්, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දක්නේද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”

“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව නම්, එය තදින් අල්ලා නොගැනීමෙන් ‘මෙය මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ දක්නේද?” - “ස්වාමීනි, එය එසේ නොවේමය.”

“මෙසේ දක්නේ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනුකල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි” යනුයි.

(දෙවෙනි එතං මම සූත්‍රය නිමි.)