සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

15. දිට්ඨි වර්ගය

4. නොච මෙ සියා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේය. මම නොවන්නෙමි, මාගේ නොවන්නේයයි’ මෙසේ දෘෂ්ටිය උපදියිද?” - “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දොතොත් ඉතා හොඳය.”

මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි’ මාගේ නොවන්නේය යනුයි’ වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි, මාගේ නොවන්නේය යනුයි.’ ‘සඤ්ඤාව ඇති කල්හි, සඤ්ඤාව නිසා සඤ්ඤාවට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි, මාගේ නොවන්නේය යනුයි’ සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි, මාගේ නොවන්නේය යනුයි’ විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණයන් නිසා විඤ්ඤාණයට පිවිස මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි. මාගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදියි.

“මහණෙනි, ඒ කුමකැයි හඟනාහුද? රූපය නිත්‍යද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි”

“යමක් අනිත්‍යනම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි”

“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මගේ නොවේ. මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“වේදනාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යයි.”

“යමක් අනිත්‍ය නම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි.”

“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි මගේ නොවේ, මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“සඤ්ඤාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි”

“යමක් අනිත්‍ය නම් එය දුකද සැපද යනුයි.” - “ස්වාමීනි, දුකයි.”

“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මගේ නොවේ, මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“සංස්කාරය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි”

“යමක් අනිත්‍ය නම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි.”

“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මගේ නොවේ, මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”

“විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”

“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි. මාගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”-

මෙසේ දක්නේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයෙහිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.

(හතරවෙනි නොච මේ සියා සූත්‍රය නිමි.)