සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
15. දිට්ඨි වර්ගය
3. සො අත්තා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි! කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පිවිස මෙසේ දෘෂ්ටිය උපදීද? “ඒ මම ආත්මයය. ඒ මම ලොකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය. ස්ථිරය. සදාකාලිකය. නොපෙරලෙන ස්වභාවය කියායි.
“ස්වාමීනි! අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියාදෙතොත් ඉතා හොඳය.”
මහණෙනි, රූපය ඇතිකල්හි රූපය නිසා රූපයට ඇතුළත්ව මෙසේ දෘෂ්ටිය උපදියි. ‘ඒ මම ආත්මයය. ඒ මම ලොකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවය.
“මහණෙනි, වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට ඇතුළත්ව මෙසේ දෘෂ්ටිය උපදියි. ‘ඒ මම ආත්මයය. ඒ මම ලොකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවය.
“මහණෙනි, සඤ්ඤාව ඇති කල්හි සඤ්ඤාව නිසා සඤ්ඤාවට ඇතුළත්ව මෙසේ දෘෂ්ටිය උපදියි. ‘ඒ මම ආත්මයය. ඒ මම ලොකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවය.
“මහණෙනි, සංස්කාරයන් ඇතිකල්හි සංස්කාරය නිසා සංස්කාරයට ඇතුළත්ව මෙසේ දෘෂ්ටිය උපදියි. ‘ඒ මම ආත්මයය. ඒ මම ලොකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවය.
“මහණෙනි, විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට ඇතුළත්ව මෙසේ දෘෂ්ටිය උපදියි. ‘ඒ මම ආත්මයය. ඒ මම ලොකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවය.
“මහණෙනි, ඒ කුමකැයි හඟනාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි! දුකය.”
යමක් වනාහි අනිත්‍ය නම් දුකනම් පෙරළන ස්වභාව නම් එය දැඩිකොට නොගැනීමෙන් ‘ඒ මම ආත්මයය. ඒ මම ලෝකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවයයි’ මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි! මෙය නොවේමය.”
වේදනාව නිත්‍යද? අනිත්‍යද - “ස්වාමීනි! අනිත්‍යය.”
යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද? - “ස්වාමීනි! දුකය.”
“යමක් වනාහි අනිත්‍යනම් දුකනම් පෙරළෙන ස්වභාව නම් එය දැඩිකොට නොගැනීමෙන් ‘ඒ මම ආත්මයය. ඒ මම ලෝකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය. ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවයයි” මෙසේ දෘෂ්ටිය උපදනේද? - “ස්වාමීනි! මෙය නොවේමය.”
“සඤ්ඤාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුකනම් පෙරළෙන ස්වභාව නම් එය දැඩිකොට නොගැනීමෙන් ‘ඒ මම ආත්මයය. ඒ මම ලෝකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොපෙරළෙන ස්වභාවයයි” මෙසේ දෘෂ්ටිය උපන්නේද?” - “ස්වාමීනි! මෙය නොවේමය.”
“සංස්කාරයෝ නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි! අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යනම්, දුකනම්, පෙරළෙන ස්වභාව නම්, එය දැඩිකොට නොගැනීමෙන් ‘ඒ මම ආත්මයය. ඒ මම ලෝකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය නොපෙරලෙන ස්වභාවය’යි මෙසේ දෘෂ්ටිය උපන්නේද?” - “ස්වාමීනි එසේ නොවේමය.”
“විඥානය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුකද, සැපද?”- ස්වාමීනි, දුකයි”
“යමක් වනාහි අනිත්‍යනම්, දුක්නම්, පෙරළෙන ස්වභාව නම් එය දැඩිකොට නොගැනීමෙන් ඒ මම ආත්මයය. ඒ මම ලෝකයය. ඒ මම පරලොව වන්නෙමි. නිත්‍යය ස්ථිරය. සදාකාලිකය. නොපෙරළෙන සුළුයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“මෙසේ දක්නාවූ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි. විඥානයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි නුවණ (පහළ) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. මතු ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.
(තුන්වෙනි සො අත්තා සූත්‍රය නිමි.)