සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
1. මාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, මාරයා මාරයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් මාරයායි කියනු ලැබේද?”
“රාධය, රූපය වනාහි ඇතිකල්හි මරණය හෝ වන්නේද, මැරිය යුතු හෝ වන්නේද? යමෙක් වනාහි මිය යයිද රාධය, එබැවින් ඔබ රූපය මරණයයි බලව, මැරිය යුතුයයි බලව. මැරේයයි බලව, රෝගයයි බලව, ගඩයයි බලව, හුලයයි බලව, දුකයයි බලව, දුක වූයේ යයි බලව. යම් කෙනෙක් ඒ රූපය මෙසේ බලත්ද ඔවුහු මනාකොට දකිත්.
“රාධය, වේදනාව ඇතිකල්හි මරණය හෝ වන්නේද, මැරිය යුතු හෝ වන්නේද, යමෙක් වනාහි මිය යයිද රාධය, එබැවින් ඔබ වේදනාව මරණයයි බලව, මැරිය යුතුයයි බලව, මැරේයයි බලව, රෝගයයි බලව, ගඩයයි බලව, හුලයයි බලව, දුකයයි බලව, මෙසේ බලත්ද, දුක්වූයේයයි බලව. යමෙක් ඒ වේදනාව මෙසේ බලත්ද, ඔව්හු මනාකොට දකිත්.
“රාධය සඤ්ඤාව ඇති කල්හි මරණය හෝ වන්නේද, මැරිය යුතු හෝ වන්නේද, යමෙක් වනාහි මිය යයිද, රාධය, එබැවින් ඔබ සඤ්ඤාව මරණයයි බලව, මැරිය යුතුයයි බලව, මැරේයයි බලව, රෝගය යයි බලව, ගඩයයි බලව, හුලයයි බලව, දුකයයි බලව, දුක්වූයේ යයි බලව. යමෙක් ඒ සඤ්ඤාව මෙසේ බලත්ද, ඔව්හු මනාකොට දකිත්.
“රාධය සංස්කාරයෝ ඇතිකල්හි මරණය හෝ වන්නේද, මැරිය යුතු හෝ වන්නේද, යමෙක් වනාහි මිය යයිද, රාධය, එබැවින් ඔබ සංස්කාරයෝ මරණයයි බලව, මැරිය යුතුයයි බලව, මැරේයයි බලව, රෝගය යයි බලව, ගඩයයි බලව, හුලයයි බලව, දුකයයි බලව, දුක්වූයේ යයි බලව. යමෙක් ඒ සංස්කාරයන් මෙසේ බලත්ද, ඔව්හු මනාකොට දකිත්.
“රාධය විඤ්ඤාණය ඇතිකල්හි මරණය හෝ වන්නේද, මැරිය යුතු හෝ වන්නේද, යමෙක් වනාහි මිය යයිද, රාධය, එබැවින් ඔබ විඤ්ඤාණය මරණයයි බලව, මැරිය යුතුයයි බලව, මැරේයයි බලව, රෝගය යයි බලව, ගඩයයි බලව, හුලයයි බලව, දුකයයි බලව, දුක්වූයේ යයි බලව. යමෙක් ඒ විඤ්ඤාණය මෙසේ බලත්ද, ඔව්හු මනාකොට දක්නාහුය යනුයි.
“ස්වාමීනි, මනාකොට දැක්ම කුමක් පිණිසද?” - “රාධය, මනාකොට දැක්ම කළකිරීම පිණිසය”
“ස්වාමීනි, කළකිරීම කිනම් අර්ථයක් පිණිසද?” - “රාධය, කළකිරීම විරාගය (අර්හත් මාර්ගය) පිණිසය.”
“ස්වාමීනි, විරාගය කිනම් අර්ථයක් පිණිසද?” - “රාධය, විරාගය (අර්හත් මාර්ගය) මිදීම පිණිසය.”
“ස්වාමීනි, මිදීම (අර්හත් ඵලය) කිනම් අර්ථයක් පිණිසද?” -“රාධය, මිදීම නිවණ පිණිසය.”
“ස්වාමීනි, නිවණ කිනම් අර්ථයක් පිණිසද?” - “රාධය, ප්‍රශ්න සීමාව ඉක්මවූයෙහිය. ප්‍රශ්නයාගේ කෙළවරක් ගැනීමට නොහැකියි. රාධය, මේ මාර්ග බ්‍රහ්මචර්යාව නිවණ ඇතුලත් කොට නිවණ පිහිට කොට, නිවණ අවසන් කොට ඇත්තේයයි” වදාළේය.
(පළමුවෙනි මාර සූත්‍රය නිමි.)