සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

13. ගෘහපති වර්‍ගය

7. භාලිද්දක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් මහා කත්‍යායන සථවිර තෙම අවන්තී රට කුරරඝරයෙහි පවතත නම් පර්‍වතයෙහි වාසය කරයි. හකල්හි වනාහි භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහා කත්‍යායන සථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මහා කත්‍යායන සථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථා කොට නිමවා එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහා කත්‍යායන සථවිරයන්ට මෙය සැල කෙළේය.

’’සවාමීනි, භාගයවතුන් වහන්සේ විසින් ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වෙදනාවන්ගේ නානාත්‍වය උපදී යන මෙය වදාරන ලදී. සවාමීනි, කෙසේනම් ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය උපදීද? සපර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වෙදනාවන්ගේ නානාත්‍වය උපදීදැයි, (ඇසුයේය.)

’’ගෘහපතිය, මේ ලොකයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැන ගනියි. චක්‍ඛු විඤඤාණයද සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වෙදනාවද උපදියි. ඇසින්ම රූපයක් දැක මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. චක්‍ඛු විඤඤාණයද දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වෙදනාව උපදියි. ඇසින්ම වනාහි රූපයක් දැක මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. චක්‍ඛු විඤඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.

’’ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. කණින් ශබ්දයක් අසා මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. සෝත විඤඤාණයද සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වෙදනාව උපදියි. කනින්ම ශබ්දයක් අසා මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. සෝත විඤඤාණයද දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වෙදනාව උපදියි. කනින්ම වනාහි ශබ්දයක් අසා මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. සෝත විඤඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.

’’ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. ඝාණ විඤඤාණයද සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වෙදනාව උපදියි. නාසයෙන්ම ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. ඝාණ විඤඤාණයද දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වෙදනාව උපදියි. නාසයෙන්ම ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. ඝාණ විඤඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.

’’ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. දිවෙන් රසයක් විඳ මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. ජිව්හා විඤඤාණයද සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වෙදනාව උපදියි. දිවෙන්ම රසයක් විඳ මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. ජිව්හා විඤඤාණයද දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වෙදනාව උපදියි. දිවෙන්ම රසයක් විඳ මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. ජිව්හා විඤඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.

’’ගෘහපතිය, අනිකක්ද කියමි. කයින් ස්පර්‍ශයක් කර මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. කාය විඤඤාණයද සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වෙදනාව උපදියි. කයින්ම ස්පර්‍ශයක් කර මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. කාය විඤඤාණයද දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වෙදනාව උපදියි. කයින්ම ස්පර්‍ශයක් කර මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. කාය විඤඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි.

’’ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. සිතින් ධර්‍මයක් දැන මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. මනො විඤඤාණයද සැප වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වෙදනාව උපදියි. සිතින්ම ධර්‍මයක් දැන මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. මනො විඤඤාණයද දුක් වෙදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වෙදනාව උපදියි. සිතින්ම වනාහි ධර්‍මයක් දැන මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. මනො විඤඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වෙදනාවද උපදියි. ගෘහපතිය, මෙසේ වනාහි ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය උපදියි. ස්පර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වෙදනාවන්ගේ නානාත්‍වය උපදීයයි, (වදාළේය.)