සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
14. දෙවදහ වර්‍ගය
9. (අධ්‍යාත්මික) හේතු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, ඇස අනාත්මය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුයෙන් හටගත් ඇස කොයින් ආත්ම වන්නේද?
’’කණ අනාත්මය. කණ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුයෙන් හටගත් කණ කොයින් ආත්ම වන්නේද?
’’නාසය අනාත්මය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුයෙන් හටගත් නාසය කොයින් ආත්ම වන්නේද?
’’දිව අනාත්මය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුයෙන් හටගත් දිව කොයින් ආත්ම වන්නේද?
’’කය අනාත්මය. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුයෙන් හටගත් කය කොයින් ආත්ම වන්නේද?
’’සිත අනාත්ම වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුයෙන් හටගත් සිත කොයින් ආත්ම වන්නේද?
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි.
මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගණියි, වදාළේය.