සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

15. නවපුරාණ වර්‍ගය

6. අනන්තෙවාසික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, ඇතුළත කෙළෙස් නැත්තාවූ කෙළෙස් නොහැසිරෙන්නාවූ මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසය වසන්නේය. මහණෙනි, ඇතුළත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුළත කෙළෙස් නැත්තාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ භික්‍ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කරයි.

’’මහණෙනි, කෙසේනම් ඇතුළත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපයක් දැක මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුලත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කණින් ශබ්දයක් අසා මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මයක් දැන මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ වනාහි ඇතුලත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුව වාසය කෙරේ.

’’මහණෙනි, කෙසේනම් ඇතුළත කෙළෙස් නොවසන්නාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැති භික්‍ෂුතෙම සුවසේ පහසුවෙන් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපයක් දැක මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කණින් ශබ්දයක් අසා මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මයක් දැන මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

’’මහණෙනි, මෙසේ වනාහි ඇතුලත කෙළෙස් නොවසන්නාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ භික්‍ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුලත කෙළෙස් නොවසන්නාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ මේ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේය. මහණෙනි, ඇතුලත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම ඇත්තාවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුලත කෙළෙස් නැත්තාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ භික්‍ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කෙරේයයි, වදාළේය.