සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
3. සබ්බ වර්‍ගය
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, සියලු (රාගාදී)ී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරමි. එය අසව්. මහණෙනි, සියලු හැඟීම් නැසීමට උපකාරවූ ඒ ප්‍රතිපදාව කවරේද?’’
’’මහණෙනි, මෙහි මහණතෙම ඇස මම යයි නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.
’’මහණෙනි, මෙහි මහණතෙම කණ මම යයි නොහඟියි. කණ කෙරෙහි මම ඇතැයි නොහඟියි. කණ කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කණ මාගේ යයි නොහඟියි. ශබ්දයන් මම යයි නොහඟියි. ශබ්දයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ශබ්දයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ශබ්දය මාගේ යයි නොහඟියි. සොත විඤ්ඤාණය මම යයි නොහඟියි. සොත විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සොත විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සොත විඥානය මාගේ යයි නොහඟියි. සොත සම්ඵසස්ය මම යයි නොහඟියි. සොත සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සොත සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සොත සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. සොත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.’’
’’මහණෙනි, මෙහි මහණතෙම නාසය මම යයි නොහඟියි. නාසය කෙරෙහි මම ඇතැයි නොහඟියි. නාසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. නාසය මාගේ යයි නොහඟියි. ගන්‍ධයන් මම යයි නොහඟියි. ගන්‍ධයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ගන්‍ධයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ගන්ධය මාගේ යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය මම යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.’’
’’මහණෙනි, මෙහි මහණතෙම දිව මම යයි නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රසයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රස මාගේ යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයිද නොහඟියි. එය කෙරෙන් අනිකක් මම යයිද නොහඟියි. එය මාගේ යයිද නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.’’
’’මහණෙනි, මෙහි මහණතෙම කය මම යයි නොහඟියි. කය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කය මාගේ යයි නොහඟියි. ස්පර්‍ශයන් මම යයි නොහඟියි. ස්පර්‍ශයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ස්පර්‍ශයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ස්පර්‍ශය මාගේ යයි නොහඟියි. කාය විඤ්ඤාණය මම යයි නොහඟියි. කාය විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. කාය සම්ඵසස්ය මම යයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.’’
’’මහණෙනි, මෙහි මහණතෙම සිත මම යයි නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්‍මයන් මම යයි නොහඟියි. ධර්‍මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්‍මයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්‍මය මාගේ යයි නොහඟියි. මනො විඤ්ඤාණය මම යයි නොහඟියි. මනො විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනො විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනො විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනො සම්ඵසස්ය මම යයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනො සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, එයින් එය අන් ආකාරයක් වේ. අන් ආකාරයක්වූ, භවයෙහි ඇළුනාවූ, ලෝවැසි තෙම භවයටම ඇලෙයි. මහණෙනි, යම් පමණ සතහට ධාතු ආයතන වෙත්ද, එයද මම යයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයිද නොහඟියි. එය කෙරෙන් අනිකක් මම යයිද නොහඟියි. එය මාගේ යයිද නොහඟියි.’’
’’හෙතෙම මෙසේ නොහඟිනු ලබන්නේ, ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාව වේය’’ යි (වදාළ සේක.)