සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

3. සබ්බ වර්‍ගය

8. සමුග්ඝාතසාරුප්පසුත්තං

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියලු තෘෂ්ණාදී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ඒ සියලු හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව කවරේද?

’’මහණෙනි, ඇස (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඥානය මම යයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඥානය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

’’මහණෙනි, කණ (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කණ කෙරෙහි මම ඇතැයි නොහඟියි. කණ කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කණ මාගේ යයි නොහඟියි. ශබ්දයන් මම යයි නොහඟියි. ශබ්දයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ශබ්දය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ශබ්දයෝ මාගේ යයි නොහඟියි. සෝත විඥානය මම යයි නොහඟියි. සෝත විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත විඥානය මාගේ යයි නොහඟියි. සෝත සම්ඵසස්ය මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

’’මහණෙනි, නාසය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. නාසය කෙරෙහි මම ඇතැයි නොහඟියි. නාසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. නාසය මාගේ යයි නොහඟියි. ගන්‍ධයන් මම යයි නොහඟියි. ගන්‍ධයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ගන්‍ධය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ගන්‍ධයෝ මාගේ යයි නොහඟියි. ඝාණ විඥානය මම යයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ විඥානය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

’’මහණෙනි, දිව (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රසයෝ මාගේ යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

’’මහණෙනි, කය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කය මාගේ යයි නොහඟියි. ස්පර්‍ශයන් මම යයි නොහඟියි. ස්පර්‍ශයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ස්පර්‍ශය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ස්පර්‍ශයෝ මාගේ යයි නොහඟියි. කාය විඥානය මම යයි නොහඟියි. කාය විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය විඥානය මාගේ යයි නොහඟියි. කාය සම්ඵසස්ය මම යයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

’’මහණෙනි, සිත (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්‍මයන් මම යයි නොහඟියි. ධර්‍මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්‍මය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්‍මයෝ මාගේ යයි නොහඟියි. මනොවිඤ්ඤාණය මම යයි නොහඟියි. මනොවිඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනොවිඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනොවිඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනො සම්ඵසස්ය මම යයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනො සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

’’මෙසේ නොහඟින්නාවූ හෙතෙම ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ ආශා නොකරන්නේය. ආශා නොකරන්නේ මේ ආත්මයෙහි පිරිනිවෙන්නේය. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලද්දේය. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට සුදුසුවූ ප්‍රතිපදාව වේය’’ යි (වදාළ සේක.)