සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
7. මිගජාල වර්‍ගය
1. මිගජාල සුත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් මහාජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහාජාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, ’එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?’’ කියායි.
’’මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටුවේද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එයට තෘෂ්ණාවෙන් සතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණා සතුට උපදියි. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටුවේද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එයට තෘෂ්ණාවෙන් සතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණා සතුට උපදියි. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටුවේද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එයට තෘෂ්ණාවෙන් සතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණා සතුට උපදියි. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටුවේද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එයට තෘෂ්ණාවෙන් සතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණා සතුට උපදියි. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටුවේද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එයට තෘෂ්ණාවෙන් සතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණා සතුට උපදියි. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටුවේද, එය ප්‍රියයයි, මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එයට තෘෂ්ණාවෙන් සතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, එහි ගිලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණා සතුට උපදියි. තෘෂ්ණා සතුට ඇති කල්හි, ඇල්ම වේ. ඇල්ම ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, මෙසේ වාසය කරන්නාවූද මහණතෙම හුදෙක් වනයෙහි ශබ්ද නැත්තාවූ, ඝෝෂා නැත්තාවූ, වනය ඇසුරුකොට හමන වාතය නැත්තාවූ, මිනිසුන්ගේ රහසිගතවීමට සුදුසුවූ, සැඟවී වාසයට සුදුසුවූ, ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කෙරේද, එතකුදු වුවත් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඔහුට තෘෂ්ණාව දෙවැන්න වේ. මොහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවීය. එහෙයින් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙම එයට තෘෂ්ණාවෙන් සතුටු නොවේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එයට තෘෂ්ණාවෙන් සතුටු නොවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටු නොවේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එයට තෘෂ්ණාවෙන් සතුටු නොවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටු නොවේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එයට තෘෂ්ණාවෙන් සතුටු නොවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් නොසතුටු වේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි ගිලී නොසිටීද, එයට තෘෂ්ණාවෙන් නොසතුටුවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටු නොවේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එයට තෘෂ්ණාවෙන් සතුටු නොවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට තෘෂ්ණාවෙන් සතුටු නොවේද, එය ප්‍රියයයි, මනාපයයි නොකියාද, එහි නොගිලේද, එයට තෘෂ්ණාවෙන් සතුටු නොවන්නාවූ, එය ප්‍රියයයි, මනාපයයි නොකියන්නාවූ, එහි නොගිලුණාවූ ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්‍ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්‍ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
’’මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්‍ෂූන්ගෙන්, භික්‍ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීර්ත්‍ථකයන්ගෙන්, තීර්ත්‍ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය’’ යයි (වදාළ සේක.)