සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

9. අසංඛත සංයුත්තය

2. දෙවෙනි වර්ගය

1. අසංඛත සූත්‍ර

1. සමථ සූත්‍රය.

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, තොපට අසංඛතයත් අසංඛතගාමී මාර්ගයක් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේද? මහණෙනි යම් රාගය ක්ෂයවීමක්වේද, දොෂය ක්ෂයවීමක්වේද, මොහය ක්ෂයවීමක්වේද, මහණෙනි, මේ අසංඛතයයි කියනුලැබේ.

[3] “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, සමථය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

[4] “මහණෙනි, මෙසේ මම තොපට අසංඛතයත් දෙසන ලදී. අසංඛතගාමී මාර්ගයත් දෙශනා කරනලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පා කරන ශාස්තෲවරයෙකු විසින් යමක් කළ යුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝයි. අර ශුන්‍යාගාරයෝයි. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.

(මේ වර්ගයේ හැම සූත්‍රයේම 1, 2, 4 වෙනි ඡෙද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 1, 2, 4 වෙනි ඡෙද මෙනි. වෙනස් වන 3 වෙනි ඡෙද පමණක් දක්වා ඇත.)

2. විපස්සනා සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, සිත පිරිසිදු කිරීමයි. මහණෙනි, මේ අසංඛතගාමි මාර්ගයයි කියනු ලැබේ.

3. සවිතක්ක සවිචාර සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, සවිතර්ක සවිචාර සමාධියයි. මහණෙනි, මේ අසංඛත මාර්ගයයි කියනු ලැබේ.

4. අවිතක්ක විචාරමත්ත සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, අවිතර්ක විචාරමාත්‍ර සමාධියයි මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

5. අවිතක්ක අවිචාර සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, අවිතර්ක අවිචාර සමාධියයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

6. සුඤ්ඤත සමාධි සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, සුඤ්ඤත සමාධියයි. මහණෙනි, සුඤ්ඤත සමාධිය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

7. අනිමිත්ත සමාධි සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, අනිමිත්ත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි. කියනු ලැබේ.

8. අප්පණිහිත සමාධි සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, අප්පණිහිත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

9. කායානුපස්සී සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලොකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද? මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

10. වේදනානුපස්සී සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

11. චිත්තානුපස්සී සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලොකයෙහි සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි. මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

12. ධම්මානුපස්සී සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

13. පඨම සම්මප්පධාන සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

14. දුතීය සම්මප්පධාන සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළාබව පිණිස, බොහෝවීම පිණිස, විපුලත්වය පිණිස, භාවනාවෙන් සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

15. තතිය සම්මප්පධාන සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

16. චතුත්ථ සම්මප්පධාන සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් කුසලධර්මයන්ගේ ස්ථිතිය පිණිස නුමුළාබව පිණිස බොහෝවීම පිණිස භාවනාවෙන් සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

17. ඡන්දිද්ධිපාද සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

18. විරියිද්ධිපාද සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්යය අධිපතිකොට ඇති සමාධියෙන්ද සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුක්තවූ ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

19. චිත්තිද්ධිපාද සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිත අධිපතිකොට ඇති සමාධියෙන් සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුත් ඍද්ධිපාද වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

20. වීමංසිද්ධිපාද සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රඥාව (විමසීම) අධිපතිකොට ඇති සමාධියෙන්ද සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාද වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

21. සද්ධින්ද්‍රිය සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ නිවනකරා නැමුණු සද්ධින්ද්‍රිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

22. විරියින්ද්‍රිය සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, නිවනකරා නැමුණු විරියින්ද්‍රිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

23. සතින්ද්‍රිය සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සතින්ද්‍රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

24. සමාධින්ද්‍රිය සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධින්ද්‍රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

25. පඤ්ඤින්ද්‍රිය සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු පඤ්ඤින්ද්‍රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

26. සද්ධාබල සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ශ්‍රද්ධා බලය බඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

27. විරියබල සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරිය බලය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

28. සතිබල සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සතිබලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

29. සමාධිබල සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධිබලය වඩයි. මහණෙනි, මේ අසංඛත මාර්ගයයි කියනු ලැබේ.

30. පඤ්ඤාබල සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ප්‍රඥාබලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

31. සතිසම්බොජ්ඣංග සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සති සම්බොජ්ක්ධංගය වඩයි. මහණෙනි, මේ අසංඛත මාර්ගයයි. කියනු ලැබේ.

32. ධම්මවිචයසම්බොජ්ඣංග සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ නිවන කරා නැමුණු ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛත මාර්ගයයි කියනු ලැබේ.

33. විරියසම්බොජ්ඣංග සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරිය සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛත මාර්ගයයි කියනු ලැබේ.

34. පීතිසම්බොජ්ඣංග සූත්‍රය.

“ මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

35. පස්සද්ධිසම්බොජ්ඣංග සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු පස්සද්ධිසම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

36. සමාධිසම්බොජ්ඣංග සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ නිවන කරා නැමුණු සමාධි සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

37. උපෙක්ඛාසම්බොජ්ඣංග සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු උපෙක්ෂාසම්බොජ්ඣංගය වඩයි. මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

38. සම්මාදිට්ඨි සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

39. සම්මාසංකප්ප සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සංකල්පනය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

40. සම්මාවාචා සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් වචනය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

41. සම්මාකම්මන්ත සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

42. සම්මාජීව සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් ආජීවය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

43. සම්මාවායාම සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

44. සම්මාසති සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවන කරා නැමුණු සම්‍යක් සතිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

45. සම්මාසමාධි සූත්‍රය.

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.