සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
10. අව්‍යාකත සංයුත්තය
3. උපගත සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කරත්.
එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් වේලාවෙහි විවේකයෙන් නැගීසිටියේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙම ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට, “කිමෙක්ද ඇවැත් ශාරිපුත්‍රය සත්වතෙමේ මරණින් මතුවේද?”
“ඇවැත්නි, සත්වයා මරණින් මතුවේයයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”
“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද?”
“ඇවැත්නි, සත්ව තෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”
“ඇවැත්නි, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු වන්නේත් නොවන්නේත් වේද?”
“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි. නොවන්නේත් වෙයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”
“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද නොවන්නේත් නොවේද?”
“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේද නොවේ යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”
“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේදැයි මෙසේ විචාරණ ලද්දේ, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි කීයෙහිය.
“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේ දැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි කීයෙහිය.
“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත් නොවන්නේත් නොවේදැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි. නොවන්නේත් වෙයි යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි කීයෙහිය.
“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේයයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවෙයිද නොවන්නේත් නොවේයයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේයයි’ කීයෙහිය.
“ඇවැත්නි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරණ ලද්දේ නම් ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?”
[2] “ඇවැත්නි සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය රූප මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවේ යන මෙයද රූප මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි යන මෙයද රූප මාත්‍රයකි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවෙයි යන මෙයද රූප මාත්‍රයකි.
“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය වේදනා මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවේයයි යන මෙයද වේදනා මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි යන මෙයද වේදනා මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවෙයි. යන මෙයද වේදනා මාත්‍රයකි.
“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය සංඥා මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙයද සංඥා මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි යන මෙයද සංඥා මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි යන මෙයද සංඥා මාත්‍රයකි.
“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වෙයි යන මෙය සංස්කාර මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි යන මෙයද සංස්කාර මාත්‍රයකි. සත්වතෙම මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද සංස්කාර මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවෙයි යන මෙයද සංස්කාර මාත්‍රයකි.
“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වෙයි යන මෙය විඤ්ඤාණ මාත්‍රයකි. සත්වතෙම මරණින් මතු නොවෙයි යන මෙයද විඤ්ඤාණ මාත්‍රයකි සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද විඤ්ඤාණ මාත්‍රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවෙයි යන මෙයද විඤ්ඤාණ මාත්‍රයකි.
“ඇවැත්නි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරණ ලද්දේද, ඊට හේතු මේය. ඊට ප්‍රත්‍යය මේය.”