සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
2. විහාර වර්ගය
1. අඞ්ඪමාස පටිසල්ලාන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි, මම අඩ මසක් හුදකලාව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුය” යනුයි. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිණෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් හුදකලා වාසයෙන් වෙන්වූයේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ප්‍රථමාසම්බොධිය ඇති (බුදුවී එකුන් පනස් දින ඇතුළත) ඒ මම යම් ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙම්ද? ඒ ධර්මයන් අතුරෙන් වේදනා සංඛ්‍යාත එක්තරා ධර්මයක් සිහි කරමින් විසුවෙමි. ඒ මම මෙසේ දැනගතිමි. මිථ්‍යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක වේදනාවද) දැනගතිමි. සම්‍යක් දෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්‍යා සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි සම්‍යක් සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යාවචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි, සම්‍යක් වචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්‍යා කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්‍යක් කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යා ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්‍යක් ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනා ද දැන ගතිමි. මිථ්‍යා ව්‍යායාමය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි සම්‍යක් ව්‍යායාමය නිසා උපදින (කුසලා කුසල විපාක) වේදනාද දැනගතිමි මිථ්‍යා සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යා සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි.
“ඡන්දය නිසා උපදින (අට වැදෑරුම් ලොභ සහගත) වේදනාද දැනගතිමි. විතර්කය නිසා උපදින (ප්‍රථමධ්‍යාන) වේදනාද දැනගතිමි. සංඥාව නිසා උපදින (සවැදෑරුම් සඤ්ඤා සමාපත්ති) වේදනාද දැනගතිමි. ඡන්දයද නොසන්සිඳුනේ වෙයිද, විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (අෂ්ට ලොභ සහගත) වේදනාද දැනගතිමි.
“ඡන්දය සන්සිඳුනේ වෙයිද, විතර්කයෝ සංසිඳුනාහු වෙත්ද, සංඥාවෝ සන්සිඳුනාහු වෙත්ද ඒ නිසා උපදින (ප්‍රථමධ්‍යාන) වේදනාද දැනගතිමි. ඡන්දයද සන්සිඳුනේ වෙයිද විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (දුතියජ්ඣාන) වේදනාද දැනගතිමි.)
“ඡන්දය සන්සිඳුනේ වෙයිද විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝද සන්සිඳුනේ වෙත්ද ඒ නිසා උපදින (නෙවසඤ්ඤානාසඤ්ඤායතන) වේදනාද දැනගතිමි. අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහ ඇත. ඊට කරුණ නොපැමිණි කල්හි ඊට හේතුවන්නාවූ (සතර මාර්ගයෙන් හා යෙදුනාවූ) වේදනාවද දැනගතිමියි” වදාළේය.