සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

6. බලකරණීය වර්ගය

1. පඨවි සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “යම්සේ මහණෙනි, යම්කිසි ශරීර බලයෙන් කළයුතු ක්‍රියා ඇද්ද, ඒ සියලු ශරීර බලයෙන් කළ යුතු ක්‍රියා පොළොව නිසා පොළොවෙහි පිහිටාම කරත්. මහණෙනි, එසේම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි. මහණෙනි, මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ආජිවය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි.

[4] “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.