සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
6. බලකරණීය වර්ගය
3. හිමවන්ත සූත්‍රය
මහණෙනි, හිමවත් පර්වත රාජ්‍ය නිසා නාගයෝ කය වඩා ගනිත්. බලගන්වත්. ඔව්හු එහිදී කය වඩාගෙන බලගන්වා කුඩා වලවල්වලට බසිත්. කුඩා වලවල්වලට බැස මහවලවල්වලට බසිත්. මහවලවල්වලට බැස කුඩා ගංගාවලට කුඩා ගංගාවලට බැස මහ ගංගාවලට බසිත්. මහ ගංගාවලට බැස මහ මුහුදට මහා සාගරයට බසිත්. ඔව්හු එහිදී කයින් මහත් බවට විශාල බවට පැමිණෙත්. මහණෙනි. එසේම වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි මහත් බවට හා විශාල බවට පැමිණේ. මහණෙනි, මහණතෙම කෙසේ සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි මහත් බවට හා විශාල බවට පැමිණේද?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහී මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැගීමට මහත් බවට පැමිණේයයි” වදාළසේක.