සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

3. මිච්ඡත්ත වර්ගය

4. දුතිය පටිපදා සූත්‍රය

“මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි. මහණෙනි. වරදවා පිළිපදින ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි පිළිපැදීම හෙතු කොට ගෙන කුසලවූ ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නෙක් නොවේ. මහණෙනි, වැරදි පිළිපැදීම කවරේද? ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මේ වැරදි පිළිපැදීම යයි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි. මහණෙනි, වැරදිසේ පිළිපදින ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි පිළිපැදීම හෙතුකොට ගෙන කුසලවූ ආර්ය මාර්ග ධර්මය සම්පූර්ණ කරන්නෙක් නොවන්නේය.

“මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මහණෙනි, යහපත්ව පිළිපදින්නාවූ ගිහියා හෝ පැවිද්දා හෝ යහපත් පිළිපැදීම හෙතු කොට ගෙන කුසල්වූ ආර්ය මාර්ග ධර්මය සම්පූර්ණ කරන්නේ වෙයි. මහණෙනි, යහපත් පිළිපැදීම කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේය. මහණෙනි, මේ යහපත් පිළිපැදීම යයි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මහණෙනි, යහපත්ව පිළිපදින්නාවූ ගිහියා හෝ පැවිද්දා හෝ යහපත් පිළිපැදීම හෙතුකොට ගෙන කුසලවූ ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නෙක් වන්නේය.