සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

1. පර්වත වර්ගය

8. උපවාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙමේද ආයුෂ්මත් අතිමුත්ත ස්ථවිරතෙමේද කොසඹෑනුවර සමීපයෙහිවූ ඝෝසිතාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් අතිමුත්ත ස්ථවිරතෙම සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගීසිටියේ ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්සේ හා සමග සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් අතිමුත්ත ස්ථවිරතෙම ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන්ට මෙය කීයේය.

“ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් වහන්ස, ‘නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මනාකොට වඩනලද සත්ත සම්බොජ්ඣංගයෝ වනාහි මාගේ පහසු විහරණය පිණිස පවත්නාහු යයි’ මහණතෙම තෙමේම දන්නේද?”

“ආයුෂ්මත් අතිමුත්තය, ‘නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මනාකොට වඩනලද සත්ත බොජ්ඣංගයෝ වනාහි මාගේ පහසු විහරණය පිණිස පවත්නාහුයයි’ මහණ තෙම තෙමේම දන්නේය.

“ඇවැත්නි, මහණතෙම සති සම්බොජ්ඣංගය වඩන්නේම මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරන ලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනාකොට දුරුකරන ලදී. මාගේ වීර්ය පටන් ගන්නා ලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක් කොට මෙනෙහි කරමියි’ දනියි.

“ඇවැත්නි, මහණතෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්ච කුක්කුච්චයද මනාකොට දුරුකරනලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.

“ඇවැත්නි, මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්දච්චකුක්කුච්චයද මනාකොට දුරුකරන ලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.

“ඇවැත්නි, මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුණේය. මා විසින් ථිනමිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනාකොට දුරුකරන ලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.

“ඇවැත්නි, මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනාකොට දුරුකරනලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.

“ඇවැත්නි, මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩන්නේම ‘මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථින මිද්ධය උදුරනලදී. මාගේ උද්දච්චකුක්කුච්චයද මනාකොට දුරුකරනලදී. මාගේ වීර්ය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි. ප්‍රයෝජනය ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.

“ඇවැත්නි, මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන්නේම මාගේ සිතද මනාකොට මිදුනේය. මා විසින් ථිනමිද්ධය උදුරනලදී. මාගේ උද්ධච්චකුක්කුච්චයද මනා කොට දුරුකරනලදී. මාගේ වීර්යය පටන්ගන්නාලදී. එය හැකුළුණේ නොවෙයි ප්‍රයෝජන ඇතියක්කොට මෙනෙහි කරමියි’ දනියි.

“ආයුෂ්මත් අතිමුත්තය, මෙසේ වනාහි ‘නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මනාකොට, වඩනලද සත්ත සම්බොජ්ඣංගයෝ වනාහි මාගේ පහසු විහරණය පිණිස පවත්නාහුයයි’ මහණතෙම තෙමේම දන්නේයයි” කීහ.