සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

5. ජරා වර්ගය

1. ජරාභිමද්දන සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පූර්වරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩ සිටි සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැඟී සිටියේ හිරු රැසින් පිට තවමින් බැස යන අව්වෙහි වැඩ සිටියේ වෙයි.

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ භාග්‍යවතුන් වහන්සේගේ අත් පා අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය. ස්වාමීනි, අද්භූතය.

[3] “ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඡවිවර්ණය. පෙරමෙන් දැන් පිරිසිදුනැත. පැහැපත්නැත. සියලු ශරීර අවයව ලිහිල්ව රැලි නැඟී ඇත්තේය. සිරුර ඉදිරියට නැමී ගියේය, චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය යන ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවක් දක්නා ලැබේ.

[4] “ආනන්දය, යෞවන භාවයෙහි ජරා ස්වභාවයද නිරොගි බැව්හි ලෙඩවන ස්වභාවයද ජීවත්වීමෙහි මරණ ස්වභාවයද මෙසේවෙයි. දැන් එපමණ ඡවිවර්ණය පිරිසිදු නැත. පැහැපත් නැත. සියලු ශරීර අවයව ලිහිල්ව රැලි නැඟී ඇත්තේය. කය ඉදිරියට නැමුණේය. චක්ඛුන්ද්‍රිය. සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය යන ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවද දක්නා ලැබේ” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා නැවත මෙසේද වදාළහ.

“එපමණ සිත් අලවන ශරීරය ජරාව විසින් මඩන ලදී දුර්වර්ණ කරන ලාමක ජරාවට නින්දාවේවා.

“යමෙක් අව්රුදු සියයක් ජීවත්වේද, හෙතෙමේද මරණය කෙළවරකොට ඇත්තේය. මාරයා කිසිවකු අත් නොහරින්නේය. සියල්ලම මැඩ පවත්වන්නේය.”