සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

4. සුඛින්ද්‍රිය වර්ගය

10. උප්පටි පාටික සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? දුක්ඛින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, සුඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි.

[3] ‘මහණෙනි මේ ශාසනයෙහි අප්‍රමාදීවූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට දුක්ඛින්ද්‍රිය උපදියි. හෙතෙම මෙසේ දැනගනියි මේ දුක්ඛින්ද්‍රිය මට උපන්නේය. එය වනාහි නිමිති සහිතය. නිදාන සහිතය. හෙතු සහිතය ප්‍රත්‍යසහිතය.

“ඒ කාන්තයෙන් ඒ දුක්ඛින්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්‍රත්‍ය රහිතව උපදින්නේය යන මේ කාරණය විද්‍යමාන (සිද්ධ) නොවේ. හෙතෙම දුක්ඛින්ද්‍රියද දැනගනියි. දුක්ඛින්ද්‍රියට හෙතුවද දැනගනියි. දුක්ඛින්ද්‍රිය නිරෝධයද දැනගනියි. යම් තැනක උපන් දුක්ඛින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධ වෙයිද, එයද දැනගනියි. කොතැන්හි උපන් දුක්ඛින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධ වේද?

[4] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාසය කරයිද, මෙහි උපන් දුක්ඛින්ද්‍රිය ඉතිරි නැතිව නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණතෙම දුක්ඛින්ද්‍රිය නැතිකිරීම දැනගත්තේයයි ඒ සඳහාම සිත එළවන්නේයයි කියනු ලැබේ

[5] “මහණෙනි, මේ ශාසනයෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට දොමනස්සින්ද්‍රිය උපදියි. හෙතෙම මෙසේ දැන ගනියි. මට මේ දොමනස්සින්ද්‍රිය උපන්නේය. එය වනාහි නිමිති සහිතය. නිදාන සහිතය. හේතු සහිතය. ප්‍රත්‍යය සහිතය. එය දොමනස්සින්ද්‍රිය වනාහි නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්‍රත්‍ය රහිතව උපදින්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

“හෙතෙම දොමනස්සින්ද්‍රිය දැනගනියි. දොමනස්සින්ද්‍රියට හෙතුවද දැනගනියි. දොමනස්සින්ද්‍රිය නිරෝධයද දැන ගනියි. යම්තැනෙක උපන් දොමනස්සින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධ වේද එයද දැන ගනියි කොතැන්හි උපන් දොමනස්සින්ද්‍රිය ඉතිරි නැතිව නිරුද්ධ වේද?

[6] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම සහිතවූ සිතෙහි ඒකීභාවයෙන් යුත් එහෙයින් අවිතර්කවූ අවිචාරවූ සමාධියෙන් උපන් ප්‍රීති සුඛයෙන් යුත් ද්විතීය ධ්‍යානයට එළඹ වාසයකරයි. මෙහි උපන් දොමනස්සින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවේ. මහණෙනි, මේ මහණතෙම දොමනස්සින්ද්‍රියයාගේ නිරොධය දැන ගත්තේයයි ඒ සිත එළවන්නේයයි කියනු ලැබේ.

[7] “මහණෙනි, මේ ශාසනයෙහි අප්‍රමාදීව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳුවනලද සිත් ඇතිව වාසයකරන්නාවූ භික්ෂුවට සුඛින්ද්‍රිය උපදියි. හෙතෙම මෙසේ දැනගනියි. මට මේ සුඛින්ද්‍රියය උපන්නේය. එය වනාහි නිමිති සහිතය. නිදාන සහිතය. හෙතු සහිතය ප්‍රත්‍යය සහිතය. ඒ සුඛින්ද්‍රිය වනාහි නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්‍රත්‍යය රහිතව උපදින්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.’ හෙතෙම සුඛින්ද්‍රියද දැන ගනියි. සුඛින්ද්‍රියට හෙතුවද දැන ගනියි. සුඛින්ද්‍රිය නිරොධයද දැන ගනියි. යම්තැනක උපන් සුඛින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවෙයිද එයද දැනගනියි.

[8] ‘කොහි උපන් සුඛින්ද්‍රියය ඉතිරි නොවී නිරුද්ධවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ප්‍රීතියගේද දුරුකිරීමෙන් සිහියෙන් යුක්තව යහපත් නුවණ ඇතිව උපෙක්ෂකව වාසය කරයිද, කයින් සුවයද මනාකොට විඳියි. උපෙක්ෂාවෙන් යුක්තවූයේ සිහියෙන් යුක්තවූයේ යම් ධ්‍යානයක් පිළිබඳව ආර්‍ය්‍යයෝ සැපසේ වාසය කරන්නේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙහි උපන් සුඛින්ද්‍රිය ඉතිරි නැතිව නිරුද්ධවේ. මහණෙනි, මේ මහණතෙම සුඛින්ද්‍රියයාගේ නිරොධය දැන ගත්තේයයි ඒ සඳහා සිත එළවන්නේයයි කියනුලැබේ.

[9] “මහණෙනි, මේ සාසනයෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳවනලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට සොමනස්සින්ද්‍රිය උපදියි. හෙතෙම මෙසේ දැන ගනියි. ‘මට මේ සොමනස්සින්ද්‍රිය උපන්නේය. එය නිමිති සහිතය. නිදාන සහිතය. හෙතු සහිතය ප්‍රත්‍යයසහිතය. ඒ සොමනස්සින්ද්‍රිය ඒකාන්තයෙන් නිමිති රහිතව නිදාන රහිතව හෙතු රහිතව ප්‍රත්‍යය රහිතව උපදින්නේය’ යන මේ කරුණ විද්‍යමාන නොවේ. හෙතෙම සොමනස්සින්ද්‍රියද දැන ගනියි. සොමනස්සින්ද්‍රියට හෙතුවද දැනගනියි. සොමනස්සින්ද්‍රිය නිරොධයද දැනගනියි. යම්තැනක උපන් සොමනස්සින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවේද, එයද දැනගනියි. කොතැන්හි උපන් සොමනස්සින්ද්‍රියය ඉතිරි නොවී නිරුද්ධවේද,

[10] “මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම සැපයාගේ හා දුක්ඛයාගේ ප්‍රහාණයෙන් පළමුව සොම්නස් දොම්නසුන්ගේ නැතිකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සහිත පාරිසුද්ධියෙන් යුත් චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. සොමනස්සින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවේ. මහණෙනි, මේ මහණ තෙමේ සොමනස්සින්ද්‍රියයාගේ නිරොධය දැනගත්තේය. ඒ සඳහා සිත එළවන්නෙයයි කියනු ලැබේ.

[11] “මහණෙනි, මේ ශාසනයෙහි අප්‍රමාදීවූ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට උපෙක්ඛින්ද්‍රිය උපදියි. හෙතෙම මෙසේ දැන ගනියි. මට මේ උපෙක්ඛින්ද්‍රිය උපන්නේය. ඒ උපෙක්ඛින්ද්‍රිය නිමිති සහිතය. නිදාන සහිතය. හෙතු සහිතය. ප්‍රත්‍යය සහිතය.

“ඒ උපෙක්ඛින්ද්‍රිය වනාහි නිමිති රහිතව නිදාන රහිතව, හෙතු රහිතව උපදින්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ.

“හෙතෙම උපෙක්ඛින්ද්‍රියද දැනගනියි. උපෙක්ඛින්ද්‍රියට හෙතුවද දැනගනියි. උපෙක්ඛින්ද්‍රිය නිරොධයද දැනගනියි.

යම්තැනක උපන් උපෙක්ඛින්ද්‍රිය ඉතිරි නොවී නිරුද්ධවේද, එයද දැනගනියි. කොතැන්හි උපන් උපෙක්ඛින්ද්‍රියය ඉතිරි නොවී නිරුද්ධවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධයට පැමිණ වාසය කරයි. මෙහි උපන් උපෙක්ඛින්ද්‍රියය ඉතිරි නොවී නිරුද්ධවේ.

“මහණෙනි, මේ භික්ෂුව උපෙක්ඛින්ද්‍රියයාගේ නිරොධය දැනගත්තේයයි ඒ සඳහා සිත එළවන්නේයයි කියනුලැබේ.”

සුඛින්ද්‍රියවග්ගො චතුත්ථො.