සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
5. ජරා වර්ගය
2. උණ්ණාභ සූත්‍රය
[1] (මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
[2] එකල්හි උණ්ණාභ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් උණ්ණාභ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
[3] “භවත් ගෞතමයන් වහන්ස, වෙන් වෙන් විෂය ඇත්තාවූ වෙන් වෙන් අරමුණු ඇත්තාවූ මේ පඤ්චෙන්ද්‍රියයෝ ඔවුනොවුන්ගේ විෂය අරමුණු අනුභව නොකෙරෙත්. කවර පසෙක්ද චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හාන්ද්‍රිය, කායින්ද්‍රිය යනුයි.
“භවත් ගෞතමයන්වහන්ස, නොයෙක් විෂය ඇත්තාවූ නොයෙක් අරමුණු ඇත්තාවූ ඔවුනොවුන්ගේ විෂය අරමුණු අනුභව නොකරන්නාවූ මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ පිහිට කුමක්ද? කවරෙක් ඔවුන්ගේ අරමුණු අනුභව කරයිද?
[4] “බ්‍රාහ්මණය, නොයෙක් විෂය ඇත්තාවූ නොයෙක් අරමුණු ඇත්තාවූ ඔවුනොවුන්ගේ අරමුණු අනුභව නොකරන්නාවූ ඉන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? චක්ඛුන්ද්‍රිය සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හාන්ද්‍රිය, කායින්ද්‍රිය යනුයි. බ්‍රාහ්මණය, නොයෙක් විෂය ඇත්තාවූ නොයෙක් අරමුණු ඇත්තාවූ ඔවුනොවුන්ගේ අරමුණු අනුභව නොකරන්නාවූ පඤ්චෙන්ද්‍රියයන්ට සිත පිහිටය. සිතම ඔවුන්ගේ අරමුණු අනුභව කරයි.
[5] “භවත් ගෞතමයන් වහන්ස, සිතට පිහිට කුමක්ද?”
“බ්‍රාහ්මණය, සිතට වනාහි සිහිය පිහිට වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, මාර්ග සිහියට කුමක් පිහිට වෙයිද?”
“බ්‍රාහ්මණය, මාර්ග සිහියට අර්හත් ඵලය පිහිට වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස අර්හත් ඵලයට කුමක් පිහිටද?”
“බ්‍රාහ්මණය, අර්හත් ඵලයට නිර්වානය පිහිටයි.”
“භවත් ගෞතමයන්වහන්ස, නිර්වාණයට පිහිට කුමක්ද?”
“බ්‍රාහ්මණය, ප්‍රශ්නය ඉක්මවා ගියේය. ප්‍රශ්නයාගේ කෙළවරට පැමිණීමට නොහැකිය.”
“බ්‍රාහ්මණය, නිර්වාණයට ඇතුල්වන්නාවූ නිර්වාණය පිහිට කොට ඇත්තාවූ නිර්වාණය කෙළවර කොට ඇත්තාවූ මාර්ග බ්‍රාහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේය.”
[6] එකල්හි උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගරුකොට ගියේය
[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උණ්ණාභ බ්‍රාහ්මණයා ගිය නොබෝ වේලාවකින් භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, යම්සේ කූටාගාරයක හෝ කූටාගාර ශාලාවක හෝ උතුරු පෙරදිග (නිරිත) වා කවුලුවෙන් සූර්‍ය්‍යයා නැගි කල්හි වා කවුලුවෙන් රශ්මිය ඇතුල්ව කොහි පිහිටන්නේද?” “ස්වාමීනි බටහිර බිත්තියෙහිය.”
“මහණෙනි, එපරිද්දෙන්ම උණ්ණාභ බ්‍රාහ්මණයාගේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව බැසගත්තේය. මුල් හටගත්තේය. පිහිටියේය. දැඩිවිය. ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් වෙනස් කළ නොහැකිය මහණෙනි, මේ කාලයෙහිම උණ්ණාභ බ්‍රාහ්මණයා කළුරිය කරන්නේ නම් යම් සංයෝජනයකින් යුක්තවූ උණ්ණාභ බ්‍රාහ්මණයා නැවත මේ ලෝකයට එන්නේද, ඔහුට ඒ සංයෝජන නැත.”