සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

6. ඡට්ඨ වර්ගය

7. සහම්පති බ්‍රහ්ම සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුදුවූ අළුත උරුවේලාවෙහි නෙරඤ්ජරා නදී තීරයෙහි අජපාල නිග්‍රොධ මූලයෙහි වැඩ සිටි සේක. ඉක්බිති රහසිගතව විවේක සුවයෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතෙහි අදහසක් පහළ විය.

“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ච ඉන්ද්‍රියයෝ නිවනට ඇතුල් කරන්නාහු නිවන උපදවන්නාහු නිවන අවසාන කොට ඇත්තාහුය යනුයි.

[2] “කවර පසක්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.

“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.

“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.

“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි.

“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන කෙළවරකොට ඇත්තේ වෙයි.

“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්‍රියයෝ නිවනට ඇතුල් කරන්නාහු නිවන උපදවන්නාහු නිවන කෙළවරකොට ඇත්තාහු වෙත්.

[3] ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස ඔහුගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේද දික්කළ අතක් වක් කරන්නේද එපරිද්දෙන් බඹලොවින් අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

[4] “භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්චෙන්ද්‍රියයෝ නිර්වාණයට ඇතුල්කරන්නාහු නිර්වාණය උපදවන්නාහු නිර්වාණය කෙළවර කොට ඇත්තාහු වෙත්.

[5] “කවර පසක්ද, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපද වන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.

“වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්‍රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.

“වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්‍රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.

“වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ සමාධින්ද්‍රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවර කොට ඇත්තේ වෙයි.

“වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිර්වාණයට ඇතුල් කරන්නේ නිර්වාණය උපදවන්නේ නිර්වාණය කෙළවරකොට ඇත්තේ වෙයි. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්‍රියයෝ නිර්වාණයට ඇතුල් කරන්නාහු නිර්වාණය උපදවන්නාහු නිර්වාණය කෙළවර කොට ඇත්තාහු වෙත්.

[6] “ස්වාමීනි, පෙර වූ දෙයක් කියමි. මම කාශ්‍යප සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුණෙමි එහිදී මා සහක භික්ෂුවය, සහකභික්ෂුවයයි හඳුන්වත්. ස්වාමීනි, ඒ මම මේ පඤ්චෙන්ද්‍රියයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් කාමයන්හි කාමච්ඡන්දය (කැමැත්ත) අතහැර කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති බඹලොව උපන්නෙමි. එහිදී මා සහම්පති බ්‍රහ්මයා, සහම්පති බ්‍රහ්මයායයි හඳුන්වත්ත. භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස එය එසේය.

[7] “යම්සේ මේ පඤ්චෙන්ද්‍රියයෝ වඩන ලද්දාහුද බහුල කරන ලද්දාහුද පඤ්චනීවරණයෝ නිර්වාණයට ඇතුල් කරන්නාහු නිර්වාණය උපදවන්නාහු නිර්වාණය කෙළවර කොට ඇත්තාහු වෙත්ද මම එසේ මෙය දනිමි, මම එසේ මෙය දකිමියි” කීය.